ඊට පස්සේ ….. බීප්!!! බීප්!!!

1 gGFjvhc7KZGheQTKlGix9g
එයා මං ගැන හිතන්නෙ කොහොමද? එයා හිතනවයි කියලා මම හිතන්නේ මොකක්ද? මේවා අලි විසාල පටලැවිලි සහිත දේවල්. ඒත් මගේ බැටරිය නිවිලා යන්න කලින් මේ දේවල් කොහේ හරි ලියලා තියන්න ඕනා.
එදා සිකුරාදා දවසක්. මේසෙ උඩ උඩුබැලියන් අතට වැටිලා නිදාගෙනයි මම හිටියේ. බැටරිය සීයට 24යි තිබ්බේ. පවර් සේවින්ග් මෝඩ් එකටවත් මාව මාරු කරන්න එයාට සිහියක් නෑ. සුදු කොල්ලෙක් අලුතින් ගෙනාපු ‘ලිලී එක්ස් 0.12’ ෆෝන් එකක් දිහා කට ඇරන් බලන් ඉන්නවා. සුදු කොල්ලගේ මූණට ළං කරලා ඇල්ලුවහමයි ෆෝන් එකේ තිරය දැල්වෙන්නේ. හරියට නිකං ඇස් දෙකක් දිහා ආදරේ වෑහෙන විදිහට බලන් ඉන්න පෙම්වතෙක් වගෙයි. ආදරේ විස්වාස නම් විතරක් දොර ඇරලා දීලා ගේ පුරාම අතින් අල්ලන් ඇවිදන් යනවා.
එයාට මාව මදි ඇති. ‍ෆින්ගර් ප්‍රින්ට් එක තියලනේ මගේ තිරය දල්වන්නේ. එයාට දාඩිය දාන වෙලාවට මොකක්දෝ බහුබූත ඉලක්කම් හතරක් ඔබනවා උදැල්ලකින් වලක් කපනවා වගේ හදිස්සියකින්. එයාට හදිස්සි වෙන ගොඩක් වෙලාවට මම ලයිට් ඕෆ් කරගෙන නිදන්නත් ලෑස්ති වෙලයි ඉන්නේ. කරදරේකට තියෙන්නේ මැසෙන්ජර් ඇප් එකෙන් කවුදෝ ගෑනියෙක් නිතර පණිවුඩ එවන එකයි, පින්තූර එවන එකයි. ඒ මදිවට නිල් පාට කුරුල්ලෙක් ඉන්න තිරයක් ඇතුළෙන් ටිං…..ටිං…..ගගා නිතර ‘හාට්’ වැටෙන එකත් පුදුමාකාර දස කරදරයක්.
මං හිටියේ ඕවා-මේවා හිතමින්. අමාරුවෙන් හුස්ම ගනිමින්. බැටරිය සීයට 24යි. සැරින් සැරේ නිල් පාට කුරුල්ලගෙ ඇප් එකෙන් වැටෙන ‘හාට්’ කොච්චර බර වැඩිද කියනවා නම් මුළු තිරය පුරාම ඒවා පිළිවෙළකට තියාගන්නත් බැරි තරම්. ඒත් එයාගෙ ඇස් දෙක ලිලී එක්ස් 0.12 එකේ ඇලවිලා. එයා කණ්ණාඩි දෙක ගලවලා කමිස සාක්කුවට ඔබා ගත්තා. ඊට පස්සේ ආයෙත් ලිලී එක්ස් 0.12 එකට එබුණා.
‘මාර ස්ක්‍රීන් එක නේද මචං’ ඇස් දොඹ ගෙඩි කරගෙන එයා ඇහුවා. මචං නිකං හිනා වුණා විතරයි. අනේ මේ මිනිහට ලැජ්ජාව කියලා එකක් නැති හැටි. තමන්ගේ ෆෝන් එක මේසෙ උඩ අතෑරලා අනුන්ගේ ෆෝන් එකක් පස්සේ වැටීගෙන ඉන්න හැටි. මට හිතුණා අර වෙනදට කරනවා වගේ ඇගම ගල් කරගන්න. ඒත් බැටරි බැහැලා කියලා පස්සේ මතක් වුණා. ‘හොඳයි!! ලිලී එක්ස් 0.12 එකකට වාරයක් ආවා නම් ඇවකාඩෝ 0.1’ එකකටත් වාරයක් ඒවිනෙ’ කියලා හිත හදාගත්තා. සුදු කොල්ලගෙන් ෆෝන් එක ඉල්ලගෙන සෙල්‍ෆි දෙකකුත් අරගෙන මගේ රබර් කවරෙ ගලවලා අයින් කරලා ෆෝන් එකේ පින්තූර දෙකකුත් අරගෙන එයා ආයෙත් කණ්ණාඩි දෙක සාක්කුවට දා ගත්තා. ‘’අනේ මචං….මට ඔය පින්තූර හතර ඊමේල් කරන්නකෝ’’ කියලත් සුදු කොල්ලට වැද වැටිලා පු‍ටුව පස්සට විසි කරලා නැගිට්ටා.
‘’තව ඩිංගෙන අමතකත් වෙනවා’ කියලා මාව කමිසෙ උඩ සාක්කුවට ඔබා ගත්තා. ‘ඔව්!!! ඔව්!!! මාව කොහොම හරි මරා ගන්නවකෝ ඉතිං චාර්ජ් නොකර කර ඇරලා’
එහෙම කිව්වට මේ මනුස්සයට ඕවා ඇහෙන එකක්යෑ. ගෝන ගලට වතුර ගහන්නා වාගේ ඔය යන්නේ අශ්වයෙක් වගේ. ‘ෆ්ලෑෂ්’ වගේ පඩි විස්සක් විතර තප්පර දෙකට බැහැලා එයා පාරට පැන්නා. පිටකො‍ටුව බස් එකක එල්ලුණා සර්කස්කාරයෙක් වගේ. මගේ ඇගේ ලේ නෑ ඉතිං. කුලප්පු වෙච්ච අශ්වයෝ වගේ දුවන 120 බස්වල මෙහෙම එල්ලෙනවද සිහි බුද්ධියක් තියෙන මිනිහෙක්?
හරි ඉතිං!! මේ මිනිහට හොඳ සිහි කල්පනාවක් නෑනේ. මාව මරාගෙන තමයි පස්ස බලන්නේ. එතකොට ඉතිං බැරියෑ සුදු කොල්ලගෙ වගේ ලිලී එක්ස් 0.12 එකක් ගෙදර එක්කගෙන එන්න. මූණට මූණ තියාගෙන ඇස්වලින් ඇස්වලට කතා කරලා තිරය දල්වගන්න.
මාව වෙව්ලනවා කේන්තියට. මේ ගිනි මද්දහනේ පිටකො‍ටුවෙ ගිහින් මොනව ගේන්නද?
සපත්තුවෙන් බස් එකේ පොළොවට තට්‍ටු දදා, ‍රැවුල රවුම් කරමින් එයා ජනේලෙන් එළිය නරඹනවා. පළවෙනි හරස් වීදිය පහු වුණා විතරයි කඩි කුලප්පුව හැදිලා බස් එක මැද්දෙ හිටපු සෙනග පෙරලගෙන බස් එකෙන් බිමට පැන්නා. සාක්කුවෙ හිටපු මාව බිම නොවැටී බේරුණේ පූරුවේ කළ වාසනාවකට වෙන්නෝනා. එකෙනුයි, බිංදුවෙනුයි විතරක් වැඩ කළාට සමහර දේවල් වචනවලින් හිතන්නත් මට පුළුවන්. ඉතිං මං හිතුවා ඒක මරණීය අවස්ථාවක් කියලා.
සිකුරාදා දහවලේ පළවෙනි හරස් වීදියේ ඇවිදින්න හිතන මනුස්සයා එක්කෝ ලොකු උනන්දුවක් තියෙන කෙනෙක් වෙන්නෝනා. නැත්නම් මේ ලෝක සංසාරයක් නොදන්න ලීක්ස් ගහක් වෙන්නෝනා. එයා අයිති වෙන්නෙ ලීක්ස් ගහ කියන කැටගරියට. මට කැට තියලා ඒක කියන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් බඩු භාණ්ඩ වීදියෙ නලියනවා. පේව්මන්ට් එක පුරා දෙපැත්තට බෙදිලා පොඩි අට්ටාල උඩ වැතිරිලා ඉන්නවා. එයා ඉද්ද ගහනවා වාගේ එක තැනක නතර වුණා. ඊට පස්සේ ප‍ටු දෙබොක්කාවක් අස්සෙන් හාවෝ පනින්න වගේ දෙපැත්තට පනිමින් පඩිපෙළක් නඟින්න වුණා. පොළක් වගේ මහා සද්දෙන් බඩු විකුණන කඩේකටයි එයා මේ දුවලා තියෙන්නේ. කවුන්ටරේ හිටපු මනුස්සයට අතින්-පයින් මොනවාදෝ කියලා සාක්කුවේ හිටපු මාව එළියට ගත්තා. තිරය දල්වලා බැලුවේ අන්න ඒ වෙලාවෙයි.
‘පුදුම කරුමයක් ඉතිං!! බැටරි බස්සගන්න තාලෙ නම් බොහොම අපූරුයි. මේවා ෆෝන් නෙවෙයි, වෝකිටෝකි-වෝකිටෝකි’ වෙච්ච කිසි දෙයක් ගැන නිනව්වක් නැතිව එයා මගේ ඇගට කඩාගෙන පැන්නා. එතකොට මගේ බැටරිය සීයට 18යි. කලින් අර පපුව රිදෙන්න ගත්ත වෙලේ වැඩිපුර ටිකක් වැය වුණා කියලා මටත් තේරුණා තමයි. ඒත් මේවා මං හිතලා කරන දේවල්ද? හොඳයි!! ඔහේලම හිතලා බලන්න. මම ද එතකොට මේවට වග කියන්න ඕනා? එතකොට දැන් මගේද වැ‍රැද්ද?
රෝස පාටට සිනිඳුවට තිබ්බ මගේ කවරේ එයා ගලවලා දැම්මේ ඩමියක ඇඳුම් ගලවන තරමකවත් සැලකිල්ලකින් නෙවෙයි. රෝස කවරේ කලිසම් සාක්කුවේ ඔබාගත්ත එයා ෆෝන් කඩේ මනුස්සයා කවුන්ටරේ උඩට දාපු කවර වගයක් නිරීක්ෂණය කරමින් හිටියේ. තප්පර ගාණයි ගියේ. පැන්න ගමන් ගත්තෙ නැතැයි නිල් පාට කවරයක්. ඒකෙ පිටිපස්ස පැත්තෙ පෙනේරයක වගේ හිල් ගොඩක්. ටක-ටකස් ගාලා දිග ඇඟිලි මෙහෙයවලා එයා මට නිල් කවරය ඇන්ඳුවා.
‘ෂහ්!! පංකාදු පහයි!!!’
කියලා තමන්ටම කියා ගන්න ගමන් රු:300ක් ෆෝන් කඩේ මනුස්සයට දුන්නා.
‘’මේ කවරේ නියමයි නේද අයියේ?’’ කියලා කඩේ මනුස්සයගෙනුත් ඇහුවා. ඒ මනුස්සයා කටපුරා හිනාවෙමින් කිව්වේ කවරෙ හරිම ලස්සන බවයි. එයාගෙ මූණ මලක් වගේ පිපුණා. ‘
ඒත් නිල් පාට කවරයක් මට හරියනවද? ඊයා අනේ මේකෙ කැත!! මම පිරිමියෙක් කියලද එයා හිතන් ඉන්නේ? අච්චර ලස්සන රෝස කවරෙ ගලවලා මේ ගෝනි කබලක් අන්දලා හැඩ බලන්නෙ කොහොමද මන්දා!! මගේ බැටරිය නිවිලම ගියා නම් මීට හොඳයි. සීයට 12 ක ආයු කාලයක් තියාගෙන එහෙම කියන එක මූසලයි තමයි. ඒත් එයා මං පිරිමියෙක් කියලද හිතන් ඉන්නේ කියන ප්‍රශ්නෙන් ගැලවෙන්න බැරි වුණා. ෆෝන් එකකට ස්ත්‍රී-පුරුෂකමක් නැහැ කියලා දවසක් පරණ ‘මිකීමවුස් 110021’ ෆෝන් එකක් කියනවා මට ඇහිලා තියෙනවා. ඒ වුණාට මේ ඉන්නෙ මම!!! මම ගෑනු කෙනෙක්නේ. මාවම බැරියෑ ඒ අයට උදාහරණෙට අරගන්න. මට මේවා දිගින් දිගට හිතන්න බෑ. මගේ බැටරිය දැන් සීයට 8යි. අන්තිමට මම හිත හදාගත්තා. එයා මං ගැන මොනවා හිතුවත්-මං එයා ගැන මොනවා හිතුවත් වැඩක් නෑ. ඒවා කවදාවත් කවුරුවත් දැන ගන්නෙත් නෑ. හැබැයි මට පුළුවන් ආයෙ ෆෝන් එකක් වෙලා ඉපදෙන්නෙ නැතිව ඉන්න.
එහෙම හිතලා මං තිරය නිවා ගත්තා. අලිගැටපේර ගෙඩියෙ ලකුණු දෙපාරක් නිවෙමින් දැල්වුණා.
Electric-tag
ඊට පස්සේ. බීප්!!! බීප්!!!
කාංචනා අමිලානි
@moogater
පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ඊට පස්සේ ….. බීප්!!! බීප්!!!"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com