එකයි බිංදුවයි එකයි•

1 uRaBHw4MN-Skxq2FMg5x0Q
මම හිටියේ උකුල උඩ. ඒක හරිම සුවපහසු ඉරියව්වක්. කෙනෙක් වෙනුවෙන් මුළු හදින්ම කැප වෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති.
ඒක වැහිබර ඉරිදාවක්. සමහර ඉරිදාවල මට කරන්න වැඩක් නැතිම තරම්. සතියේ දවස් නම් එහෙම නෙවෙයි. උදේ 6.00 ට ලැබෙන නොනවතින තෙරපුමක් එක්ක කෑ ගහගෙන මට නැගිටින්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ ඉතිං එක සීරුවට වැඩ.
“එලාම් එක ඕෆ් කරන්න”
“චේතන් භගත්ගෙ ඊ මේල් එකට උත්තර යවන්න”
“මැසෙන්ජර් ඕපන් කරන්න….හා….හා. එපා.. එපා. ක්ලෝස් කරන්න. ඒ වින්ඩෝ එකත් ක්ලෝස් කරලා දාන්න. ට්විටර් ඩී.එම් බලන්න. හා….හා… ඒවා ඕපන් කරන්නෙපා. ක්ලෝස්…ක්ලෝස්”
“වට්ස් ඇප් ඕපන් කරන්න. හා…හා…හා. එපා…එපා….එපා. එයාගෙ පණිවුඩ ඕපන් ඕපන් කරන්නෙපා. නොදැක්කා වගේ ඉන්න. හා…ඒකෙ සෙටින්ග්ස් හදන්න. දැන් ක්ලෝස් කරලා දාන්න.
නෑ. නෑ. ඩේටා ඕෆ් කරන්නෙපා. ඉස්සෙල්ලා වයිෆයි ඕන් කරන්න. දැන් ඩේටා ඕෆ් කරන්න.”
ආලෝකයේ වේගයට වඩා වැඩි වේගෙකින් ලැබෙන අණ කිරීම් විතරයි ඊට පස්සෙ ඇහෙන්නෙ. සමහර වෙලාවට මට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ වෙලාකට මාව අයිස් කුට්‍ටියක් වගේ සීතල වෙනවා.
“හා.. ඒ පාර ෆ්‍රීස් වුණා”
එයා එහෙම කියලා ගසලා බසලා දාලා නැගිටලා යනවා. හරි නම් කේන්ති ගන්න ඕන මමනේ. උදේ-රෑ නොබලා මේ සුමේ කරන්නෙ එයායැයි මමනෙ. ඒත් එක විනාඩියක් පරක්කු වුණොත් එයාට ඩෝං යනවා. හරියට වහල් සේවයක් වගේ. මගේ මුළු ඇගම ගැහෙන්න ගන්නවා ඒ වගේ වෙලාවට. පපුව ඇතුළෙන්ම වගේ ඇහෙන ‘බීප්’ සද්ද වෙලාවකට මාවත් බය කරනවා. ඒත් බය කියලා එකක් මම දන්නෙ නෑ කියලයි එයා නිතර කියන්නේ. එහෙම වෙන්නෙ කොහොමද? මට මේ ඔක්කොම පැහැදිලි කරලා කියන්න දවසක් එන එකක් නැහැ තමයි. ඒත් ආදරේ කවුරු එක්ක වුණත් ඇති වෙන්න පුළුවන්.
ඇති වෙච්ච ආදරේ වුණත් මෙහෙම හදිස්සියේ, එක පාරටම කියලා දාන්න බැහැනේ. ඒකට වෙලාවක්-කලාවක් තියෙන්න ඕනා. මම එහෙම හිතන එකේ අමුත්තක් දැනෙන්න පුළුවන් තමයි. ඒත් මට නම් ඒකෙ කිසිම අමුත්තක් නැහැ.
හරි. ආයෙමත් මුළු ඇගම රත් වෙන්න අරගෙන.
“බීප් බීප්”
මොනවද මන්දා මේ මගේ ඇතුළෙන් ඇහෙන සද්ද. හැම කලබලවීමකම අන්තිම ප්‍රතිඵලය මේ වගේ නුපුරුදු සද්ද පිට වීමද?
වෙලාවකට සර්වාංගෙම දෙදරවාගෙන ඇතුළෙන්ම ඇහෙන සද්ද ගැන හරි අවබෝධයක් ලබා ගන්න ඕනා කියලා මට හිතුණා. මේ අදහස මම ඉතාම හිතවත් කීප දෙනෙකුට කියනවයි කියලත් හිතුවා. ඒත් ඒ හැම අවස්ථාවක්ම නොහිතුව විදිහට මගෙන් ගිලිහිලා ගියා. ඒවා ගැන නොකියා හිතේ හංගගෙන ඉන්නත් බැහැ.
ඒත් මට මොකද වුණේ? උකුල උඩින් මාව බිමට අතාරින්න තරම් එයා නපුරු වුණේ කොහොමද? රිදීමක් ගැන නොදන්න කාලෙක පවා මම උස තැන්වලින් බිමට වැටීම ගැන ලොකු බයකින් හිටියේ.
ඇත්තම කියනවා නම් තුවාලයක් වෙයි කියලා කාලෙක තිස්සේ මම හරි බයකින් හිටියේ. අබ්බගාත වුණාම මේ තියෙන සැලකිලිවලින් අංශුවෙන් පංගුවක්වත් නොලැබෙන බව අහලා-දැකලා තිබුණ නිසාම ඒ බය දෙගුණ-තෙගුණ වුණා.
ඒත් මේ හිරකාරයෙක් වගේ ගෙවන ජීවිතේ සතුටු දවසුත් තියෙනවා. මට කවදාවත් අමතක නොවෙන එහෙම දවස් කීපයක්ම තියෙනවා. මට කවදාවත් අමතක නොවෙන එහෙම දවස් කීපයක්ම තියෙනවා. මේ කියන්න යන දවසෙ ඉතාම වැදගත්. සතුට සහ දුක හරි හරියට මිශ්‍ර වුණු ඒ දවස සිකුරාදාවක් කියලා මට හොඳට මතකයි. හවස 6.30 වගේ වෙද්දියි එයා මට පණිවුඩේ කිව්වේ.
“අපි අද එළියට යනවා” අන්න එහෙමයි එයා කිව්වේ. මාව සතුටින් පිම්බුණා. හරියට අත්ත‍ටු ලැබුණා වගේ.
අන්න එහෙම අපි දෙන්නා “එළියට” යන දවස්වල සාමාන්‍යයෙන් එයා මාව ළඟම තියා ගන්නවා. එක්කො පර්ස් එකේ. එහෙමත් නැත්නම් සාක්කුවේ. ඒත් පාර්ටි එකකට එහෙම ගියාම එයා මාව මේසෙ උඩින් තියනවා. එහෙම මේසෙ උඩ උඩබැලියන් අතට ඉන්න වෙලාවක මගේ ඇගේ ගෑවි-නොගෑවි නොකියා 6 එකක් ලයිට් පත්තු කරන්න ගත්තා. මගේ මූණ ඒ එළියෙන් දිලිසෙන්න ගත්තා. ඊට පස්සෙ මගේ පිටිපස්සෙ තියෙන බාගෙට කාපු ඇපල් ගෙඩිය මතක් වුණා. අපි ගැලපෙන්නෙ නෑ කියලා දැනුණම පපුව කඩන් වැටෙනවා වගේ වේදනාවකුත් දැනුණා.
………………………………………………………………………………
එයා ආවා දඩ-බඩ ගාලා. බැලුවා නොකියා 6 එක දිහා. මූණ ඇඹුල් කර ගත්තා. දාගත්තා මාව සාක්කුවට. එයාගෙ රතු පාට ගවුමෙ නොපෙනෙන්න මහලා තිබ්බ ගවුම් සාක්කුවට.
එදා තමයි මම ආදරේ ගැන හරියට දැන ගත්තේ.
Electric-tag
කාංචනා අමිලානි
@moogater
පුවත්පත් සැබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "එකයි බිංදුවයි එකයි•"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com