ඩමියයි-මමයි

HiRes-57ed5ab83df78c690f993148
‘කෝ මගේ දුඹුරු පාට කොඩ්‍රොයිල් කලිසම?’
එයා බාගෙට ඇඳගෙන ගේ පුරාම දුවනවා. රැවුල කපලා හරියට මූණ හෝදගෙනත් නැද්ද මන්දා. බෙල්ලෙයි, උරහිසෙයි රැවුල් කොට. ඒ මදිවට ඉරිච්ච බැනියමක් ඇඳගෙන.
එහාට-මෙහාට පැනලා වඩිගපටුන නටලා එයා කොඩ්‍රොයිල් කලිසමයි, සුදු පාට කපු කමිසෙයි ඇඳ ගත්තා. එතකොටම තමයි මාව වයිබ්‍රේට් වෙන්න පටන් ගත්තෙ. ස්ක්‍රීන් එකේ ‘අමොර්’ කියලා නමකුයි හින්දි නිළියෙකුගෙ පින්තූරෙකුයි වැටුණා. තනි සපත්තුවක් දාගෙන ගෙයි දුවන ගමන් ඇවිත් මාව වඩා ගත්තා.
‘හායි!! ඩාලිං.. මේ එන ගමන්. ඔව්. ඔව්. ටවුන් එකේ. ඔයා හෝල්ට් එකේම ඉන්න. ඔව්. ඔව්. හෙල්මට් ගෙනාවා.’
ඒ පාර අර ලදරං බයිසිකලේ යන්නයි ලෑස්තිය. මේ මිනිහට කාර් එකේ යන්න බැරි මොකෝ?
මම හිතපු දේ දැනගෙන වගේ එයා මාව සයිලන්ට් කළා. දැන් වයිබ්‍රේෂන් විතරයි.
‘නීඩ් ෆො ස්පීඩ්’ කාර් ගේම් එක සෙල්ලම් කරනවා වගේ එයා අධික වේගෙන් පාර පුරා යන්න පටන් ගත්තා. එයාගෙ ‘අමොර්’ බස් හෝල්ට් එකේ හිටියෙ පුපුරන්න ළං වෙච්ච පොප් කෝන් එකක් ගාණට.
‘මොනවද ඉබන් ඔයාගෙ වැඩ? මම මෙතන පැය භාගයක් තිස්සෙ හිටගෙන. ඒ මදිවට බයික් එකේ එනවයි කියලා කාර් එකේ ඇවිත්’
එයා හිනා වුණා විතරයි. ඊට පස්සෙ එයාගෙ ‘අමොර්’ ගෙ කම්මුලකට ඇගිල්ලෙන් තට්ටුවක් දැම්මා. එයාලා මුලින්ම ගියේ පොළොව යට හදලා තිබ්බ සාප්පු සංකීර්ණෙකට. අමොර් ඉතිං නිළියක් කියලා හිතාගෙන ඔළුව කෙලින් තියන් ඇවිද, ඇවිද ඇඳුම් තේරුවා. ඉබන් හිනා වෙවී අමොර් ගෙ පිටිපස්සෙන්, ඉස්සරහින්, වමෙන්, දකුණෙන්, බටහිරින්, නැගෙනහිරින් ඇවිදිමින් හිටියා.
‘ඉබන්… මේ පාරවත් ඔයා කහ පාට ෂර්ට් එකක් ගන්න ඩාලිං’
එයා හරි කැමැත්තෙන් කහ පාට ෂර්ට් තෝරන්න ගියා.
‘මට මේ හොඳටම දාඩියේ ඉන්න බැරුව සාක්කුවක තෙරපෙනවා. මේ කොඩ්‍රොයිල් කලිසම් ඇතුළ පෝරනුවක් වගෙයි. එයා යනවා කහ පාට ෂර්ට් තෝරන්න. කෝලං.’
එයා කහ පාට, දුඹුරු පාට, දම් පාට කොට්න් ෂර්ට් තුනක් කරේ දාගෙන කලිසමක්දෝ කොහෙද හොයන්න ගියා.
‘හා… මේ තියෙන්නෙ!! අහසෙ නිල් පාට කොට්න් කලිසමකුයි, ඔෆිස් අඳින වර්ගයේ අළු පාට කලිසමකුයි තෝරගෙන ෆිටෝන් රූම් එකට අලස ගමනින් ඇවිදින එයා හදිස්සියේ මඟ නතර වුණා. සාක්කුවට අත දාලා ආයෙත් මාව වඩා ගත්තා.
‘ඩාලිං…මට කලිසම් දෙකක් හම්බ වුණා. ඔව්. ඔව්. ෂර්ට් තුනක් ගත්තා. හා..හා…ඇඳලා බලන්නම්’
ෆිටෝන් රූම් එකට ඇතුළු වෙච්ච ගමන් එයා මාව ඒක ඇතුළ තිබ්බ බංකුවක් උඩින් තිබ්බා. කහ පාට ෂර්ට් එක විතරක් ඇඳලා බලලා කණ්ණාඩියට හිනා වුණා. නිල් පාට කොට්න් කලිසම ඇඳල බලලා ආයෙත් පාරක් කණ්ණාඩියට හිනා වුණා. ඊට පස්සෙ උරුවම්බාමින් එළියට ආවා මාවත් උඩ සාක්කුවට ඔබාගෙනම.
‘ඉබන්…මට අර ඩමි එකට අන්දලා තියෙන ගවුම ඕනා. අනේ..ඒක ඕනමයි..’
අමොර් වයින් කරපු බෝනික්කියෙක් වාගෙ කට උල් කරමින් එයාගෙ උරහිසේ දැවටුණා. එයා ආයෙත් හිනාවෙමින් සාප්පුවෙ අයත් එක්ක කතා කළා. ඒ අය අත් විසි කරමින් කිව්වෙ ‘අපිට නම් බෑ. සර්ට පුළුවන් නම් ගලවගන්න’ වගේ දෙබස් කාණ්ඩයක්. එයාට අමොර් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑනෙ. එයා බිමට නැවිලා ඩමියට අන්දලා තිබ්බ ගවුම ගලවන්න ගත්තා. උඩ සාක්කුවේ වයිබ්‍රේට් වෙමින් හිටිය මාව එළියට අරන් එතන තිබ්බ උස පුටුවක් උඩින් තිබ්බා.
අමොර් එක්ක ඉබන් පියාඹලා ගියා. ‘සරස්’ ගාලා දොර වැහුණා. මගේ ස්ක්‍රීන් එක කළු වුණා. ආයෙ වයිබ්‍රේට් වුණා. දොර ඇරගෙන අමොර් වගේ ගෑනු ළමයි ආවා. ඉබන් වගේ අයත් ආවා. එයාලා කිචි-බිචි ගාමින් ඇඳුම් තේරුවා. හැම වෙලාවෙම කාගෙ හරි අතින් ඇඳුමක්, දෙකක් බිම වැටුණා. ඒත් ඇඳුම් ගන්න ආපු කවුරුවත් ඒවා නිසි තැනින් තියන්න මහන්සි වුණේ නෑ. මට එයාව මතක් වුණා. එයා නම් ඔහොම නෑ. මාව අත්වැරදීමකින් බිම වැටුණත් ‘සොරි’ කියනවා.
ඒ අතරේ හෙළුවෙන් හිටපු ඩමිය මගේ අවධානය දිනාගන්න ‘ස්…ස්…මේහ්…’කියනවා ඇහුණා. මම මුලින් නෑහුණ ගාණට හිටියා. මම මේ කබලෙන් ලිපට වැටිලා ලිපෙන් බිමටත් වැටිලා ඉන්නේ. එයා එනවා බිම වැටිච්ච ගිනි අඟුරෙන් සුරුට්ටු පත්තු කරන්න.
‘මට කියලත් ආත්ම ගෞරවයක් තියෙන්න එපෑයැ. මෙහෙම නිරුවස්තරෙන් ඉන්න වෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ. අඩුම තරමෙ මට යන්තමට රෙද්දක් හරි පටලවලා යන්න යුතුකමක් තියෙන්නෝනා නේද?
මාව ආයෙත් වයිබ්‍රේට් වෙන්න පටන් ගත්තා. එයාට මාව අමතක වෙලාද? කොඩ්‍රොයිල් සාක්කුවේ මම නෑ කියලා තේරෙන්න ඕනා නේද? ඇඳුම් කඩේ අයට කෝල් කරලා මං ඉන්නවද අහලද? වෙනද වගේ කාර් එකේ යන ගමන් ඉබන්ගෙ ට්වීට් කියවන්න අමොර් ෆෝන් එක ඉල්ලුවේ නැද්ද? ඒත් එක්කම ඇඳුම් කඩේ ෆෝන් එක රිංග් වෙනවා ඇහුණා.
‘මම කලින් ඇඳගෙන හිටියේ තද නිල් සේද ගවුමක්. ඒකත් සුදු, කෙට්‍ටු ගෑනු ළමයෙක් ඇවිත් ගලවගෙන ගියා. හැබැයි ඒ වෙලාවෙම මට වෙන සායකුයි, බ්ලවුස් එකකුයි ඇන්දුවා. ඊට සතියකට පස්සේ තමයි මේ ගවුම ඇන්දුවේ.’
‘පොඩ්ඩක් කෑ නොගහා ඉන්නකෝ. මොකක්ද මේ අදෝනාව හැබෑටම?’
මම බැරිම තැන ඩමියෙන් ඇහුවා. ඒ වෙලාවෙ එයාගෙ මූණෙ තිබ්බ පුදුමය!!
‘හානේ…!! ඔයාට කතා කරන්නත් පුළුවන්ද? මං හිතුවෙ ගොළු එක්කෙනෙක්ය කියලනේ.
‘මම කොහෙද ගොළු එක්කෙනෙක් වෙන්නෙ? තමුන්ගෙ කංකරච්චලේ ඉවසන්න බැරි තැන මම කතා කළේ.
ඩමිය මගේ දිහා බලාගෙන හිටියා යකෙක් වැහිලා වගේ. ඇස් ගිනි බෝල කරන්, අත-පය විසි කරමින් අන්තිම දේශනේ පටන් ගත්තා.
‘ඔහේ හිතන් ඉන්නේ ඉබ්බද මොකාද මිනිහයි, අමෝරුවයි මේං කියලා තමුන්ව හොයාගෙන දුවගෙන ඒවි කියලද? ඔහේ නිකංම නිකං ඇවකාඩෝවක්. ඒ මිනිහා සු‍ටුස් ගාලා තව ෆෝන් එකක් ගනීවි. තව පොඩ්ඩෙන් කඩේ වහනවා. ඊට පස්සේ මෙතන ඔහෙයි-මායි විතරයි. නිකං බොරු සමයං නැතුව ඉන්නවා. එනවා මෙතන ඉබ්බගෙ වරුණාව කියන්න…’
ඩමිය අත් බෝම්බයක් වගේ පිපිරුණා. කඩේ වැහුවා. ලයිට් ඕෆ් කළා. ආයෙ ලයිට් එකක් දැම්මා. ‘ඩකස්….ඩකස්..’ සපත්තු සද්දයක් ආවා. හීන්දෑරි, සුදු හාදයෙක් ඩමිය ළඟ නතර වුණා. ගත්තා මාව අතට. දා ගත්තා උඩ සාක්කුවට. ‘ඩකස්….ඩකස්’. ලයිට් ඕෆ් කළා.
‘මෙන්න හොරු ඇවිල්ලෝ….අල්ලපියෝ…’ඩමිය යටි උගුරෙන් කෑ ගහනවා මට ඇහුණා. මට කුරිරු සතුටක් දැනුණා. ඒත් එක්කම මාව දිග නින්දකට වැ‍ටුණා.

Electric-tag

කාංචනා අමිලානි
@moogater
පුවත්පත් සබැඳිය:

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ඩමියයි-මමයි"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com