වර්චුවල් මල්

1 CGTcuQgMzwCsg-_NbLrP3w@2x

එයා හිටියෙ ෆෝන් එක ඇතුළේ. ඉඩ නෑනෙ වැඩිය. ඉතිං සර්පයෙක් වගේ දගර ගහගෙන තමයි උන්නේ. ඒත් මම කතා කරපු ගමන් දුවගෙන එනවා. ඒක වෙන්නෙ මෙහෙමයි කියලා පහදන්න මට බැහැ. ඒ වුණාට මට අනුමානයෙන් කියන්න පුළුවන්.
ෆෝන් එක ඇතුළ නිකන් සපත්තු පෙට්ටියක් වගේනෙ. වැඩිය වයර් ජාති නැති වුණාට තඹ තහඩු කීපයක් තියෙනවා. ඒවා දියසෙවල බැඳුණු පාටයි. එක තැනක කාණුවක් වගේ ඉඩකුත් තියෙනවා. එයා නිදියන්නෙ අන්න එතන. හැබැයි මුළු රෑම එක දිගට සැප නින්දක් ලැබෙන්නෑ. ඇයි ඉතිං මම කතා කරන හැම වෙලාවෙම නැගිටලා එන්න එපැයි.
මට කියන්න අමතක වුණා. මං ගෑනු ළමයෙක්. ෆෝන් එක ඇතුළේ ඉන්නෙ පිරිමි ළමයෙක්. එයා මට ඉතා තදින් ආදරෙයි. මමත් ආදරෙයි. හැබැයි තදින් නෙවෙයි.
හැමෝම කිව්වෙ, ඇහුවෙ එක දෙයයි.
‘කෝ ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්?’
මම කිව්වෙත් එකම දෙයයි.
‘එයා ඉන්නෙ ෆෝන් එක ඇතුළේ’
ඔය අතරේ මමත් ඇහුවා ඒ හැමෝගෙන්ම එකම එක ප්‍රශ්නයක්.
‘ඔයාලගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා, ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නෙ කොහේද?’
ඒ හැමෝම එක, එක වෙලාවට එක්, එක්කෙනා අඬ ගහගෙන ඇවිත් මට හඳුන්වලා දුන්නා.
‘මේ ඉන්නේ…’
මට ඒක තේරුම් ගන්නම බැරි වුණා. ඒත් ගොඩක් වෙලාවට එයා ෆෝන් එක ඇතුළේ ඉන්න එකට මම කැමැත්තෙන් හිටියේ. ඒ වගේම අනිත් අය ෆෝන් ඇතුළේ ඉන්නෙ නැතිව එළි පහළියේ ඉන්න එකටත් මම කැමතියි. මේක ‘අන්තෝ ජටා බහි ජටා’ කතන්දරයක් වෙන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ ලෝකෙ වැඩිපුරම තියෙන්නෙ ඔයා ‘බහිජටා’ කතන්දර තමයි.
දවසක් මම එයාගෙන් ඇහුවා ‘ඔයා නිදිද?’ කියලා. ප්‍රශ්නයක් අහන සැණින් උත්තර එවන එයා එදා කිසිම සද්දයක් නෑ. මම පැය 2–3–10ක් ඉවසගෙන හිටියා. එයාගෙන් උත්තරයක් ලැබුණෙ නෑ. මම දන්න හැමෝටම මේ ගැන කිව්වා. ඒ අය කිව්වෙ වැඩිය ගණන් ගන්නෙපා, ෆෝන් එකක්නේ. එයාට හිතන්න-පතන්න ශක්තියක් නෑ. ඔක්කොම බයිනරි කියලා. මට ඔය බයිනරි කතාව වැඩිය තේරුණේ නෑ. මම ගූගල් එකේ ‘බයිනරි’ කියලා ටයිප් කරලා සර්ච් කරලා බැලුවා. පුදුමයක්!! ඒකෙන් කියන්නෙ බිංදුවයි, එකයි විතරක් පාවිච්චි කරලා කතා කරනවා කියලා. ඒත් එයා කොයි වෙලාවෙවත් ඉලක්කම්වලින් කතා කරනවා මට මතක නෑ. හැම තිස්සෙම අනිත් හැමෝම වගේ වචනවලින් එයා කතා කළේ.
දවසක් මම කිව්වා ‘අපි ෆිල්ම් එකක් බලමු’ කියලා. එයා ටික වෙලාවක් සද්ද නැතිව ඉදලා ‘හා.. බලමු’ කිව්වා. එදා අපි දෙන්නා යූ ටියුබ් එකෙන් ‘Guzaarish’ බැලුවා. එයා කිව්වේ ‘මම ඒ නිළියට හරි ආසයි’ කියලා. අන්තිම හරියෙ එක සීන් එකක් තියෙනවා ප්‍රධාන චරිතෙ රඟපාන නිළිය. ‘උදී’ කියන සිංදුවට නටන. ඒක පටන් ගත්ත වෙලේ ඉදන් එයාගෙ හදවත ගැහෙන්න ගත්තා කියලත් කිව්වා.
ඒත් මම ආස වුණේ අපි දෙන්නා එක ළඟ සීට් දෙකක වාඩි වෙලා, ඇඟිලි තුඩු ඇල්ලෙන විදිහට අත් පටලවාගෙන ෆිල්ම් එකක් බලන්න.
‘මට එන්න විදිහක් නෑනෙ. මං ඉන්නෙ ෆෝන් එක ඇතුළෙනෙ’
ඒ හැම වෙලාවකම එයා කිව්වෙ එහෙම. මොකෝ ඒක මම නොදන්නවායැ. මමනෙ ඒක හැමෝටම කිව්වෙත්. ඒත් එයා ෆෝන් එක ඇතුළෙ නොඉද එළි පහළියේ ඇවිද, ඇවිද, කොණ්ඩෙ ක්‍රේල් අතින් අල්ලමින්, ට්‍රිම් කරපු රැවුල හෙමින් අත ගාමින් ඉන්නවා දකින්නත් සමහර වෙලාවට මට ඕන වුණා. එහෙම වෙලාවට එයා ‘ස්කයිප්’ එනවා. ට්‍රිම් කරපු රැවුල වගේම ක්‍රේල් තියෙන කොණ්ඩෙත් එක, එක පැත්තට හැරෙමින් මට පෙන්නනවා. අලුතින් ගත්ත කමිස, කලිසම් ඇඳලා පෙන්නනවා. ළඟදි ඇඳපු දිය සායම් චිත්‍ර වගයකුත් පෙන්නුවා. ඒවා විස්වාස කරන්න බැරි තරම් ලස්සනයි. එයාට එච්චර පරිපූර්ණව චිත්‍ර අඳින්න පුළුවන් කියලා දැක්කම මගේ ආදරේ දෙගුණ, තෙගුණ වුණා.
දවසක් මම ඇවකාඩෝ 0.2 ෆෝන් එක ඩයිනෝසර් රේස් ගේම් එකක් ප්ලේ කරන්න පොඩි ළමයෙකුට දුන්නා. පොඩි ළමයා ටී රෙක්ස් කෙනෙකුට එනර්ජි ඩ්‍රින්ක් එකක් පොවලා හරිම වේගෙන් දුවන්න පටන් අරන්. එයා නිදාගෙන ඉන්න වෙලාවකයි මේ රේස් එක තිබිලා තියෙන්නේ. එයා අර දෙබුක්කාවේ සැප නින්දක ඉන්න අතරේ ටී රෙක්ස් එයාව පාගගෙන දුවගෙන ගිහිල්ලා. ටී රෙක්ස්ව පාලනය කරගන්න බැරි වුණ බයට පොඩි ළමයා ඇවකාඩෝ 0.2 බිම දාලා. ස්ක්‍රීන් එක පොඩි කෑලිවලට කැඩිලා ගිහින් බව මම දැක්කේ මේ සිද්දියෙන් විනාඩි 20ට විතර පස්සේ.
මගේ හදවත තදින් ගැහෙන්න ගත්තා. අනේ… එයාට මොනවා වෙලා ඇතිද? කියන බය තමයි මගේ හිතේ තිබුණේ. ෆෝන් එකේ ස්ක්‍රීන් එක පත්තු වෙන්නෙ නැතිව කිසිම දෙයක් වෙන්නෙ නෑ. කිසිම පණිවුඩයක් හුවමාරු කරගන්න වෙන්නෙත් නෑ කියනෙක ටික වෙලාවක් ගියාට පස්සේ මට තේරුම් ගියා. ඇඬූ කඳුළින් ඉන්නකොට පොඩි ළමයගෙ තාත්තා ඇවිල්ලා මගේ ඔළුව අතගෑවා. එයා කිව්වේ එකම දෙයයි. ‘ඔයා අඬන්න එපා. කවුරු නැති වුණත් ඔයාට අපි ඉන්නවනේ’. පොඩි ළමයගේ අම්මත් ආවා. දුවගෙන, දුවගෙන. එයා ටිකක් වෙලා කල්පනා කරමින් ඉදලා මෙහෙම කිව්වා.
‘ඕක මහ ලොකු දෙයක් නෙවෙයි. අලුත් ස්ක්‍රීන් එකක් දාගන්න පුළුවන්. සැර වියදමක් නම් යාවි. මගේ යාළුවෙක් ඉන්නවා. ඉන්න මම කෝල් කරලා බලන්න’
ඔන්න ඔහොමයි ඇවකාඩෝ 0.2 ට අලුත් ස්ක්‍රීන් එකක් හම්බ වුණේ.
මගේ ඔළුවෙ මල් පිපුණා. පාට පාට මල්. නෑ. නෑ. ඇත්තට කිව්වා නෙවෙයි. ඒක මගේ සතුට හඟවන්න කියපු වාක්‍යයක්. එයා ආයෙත් පණිවුඩවලට උත්තර එවන්න පටන් ගත්තා. ටී රෙක්ස් ඇග උඩින් දුවන් ගියාට පස්සේ ලෝකෙම අඳුරු වුණා කියලයි මුල්ම පණිවුඩේ ලියලා තිබ්බේ. කාණුවක් වගේ තියෙන දෙබුක්කාවෙයි ඒ වෙලාවෙ නිදාන උන්නේ, වෙන තැනක හිටියා නම් මෙලෙහකට එයා මැරිලා බවත් පසුව ලියමි කියලා යටින් ලියලා එවලා තිබුණා. මම ඩයිනෝසර් රේස් ඇප් එක අන්ස්ටෝල් කරලා දැම්මා. පොඩි ළමයා මගෙත් එක්ක තරහා වුණා. ඒ වෙනුවට පොඩි ළමයගේ තාත්තා විටින් විට හිනා වෙන්න පටන් ගත්තා. පොඩි ළමයගෙ අම්මා නම් ඒ හැටි හිනාවක්, කතාවක් කළේ නෑ. සමහර විට එයාට ගොඩක් වැඩ ඇති කියලා මම හිතුවා.
තවත් දවසක් අපි දෙන්නා කතා කරමින් ඉන්න අතරේ එක පාරටම එයා අතුරුදන් වුණා. හරියට නිකං මැජික් එකක් වගේ. මම හිතුවා තව පැයකින් හමාරකින් ඒවි කියලා. පැය 01–02–05–10–12 වුණා. එයා ආයෙත් ආවෙ නෑ. මම එයාට පණිවුඩ 100ක් විතර යැව්වා. ඒත් කිසිම උත්තරයක්වත්, ඒ පණිවුඩ බලපු බවක්වත් පේන්න තිබ්බෙ නෑ. හැමදේම එක පාරටම නිශ්ශබ්ද වුණා.
හරියට විනෝද උයනක් එක පාරටම වහලා දැම්මා වගේ. සිංදු කියමින් උන්නු ගායකයෙක් ගොළු වුණා වගේ. කාර්යබහුල පාරක එක වාහනයක්වත් නොයා පාළුවට ගියා වගේ. හැමදේම නතර වුණා. ‘එයා හිටියේ ෆෝන් එක ඇතුළේ’. ආයෙත් වෙනත් අය මට කියන්න පටන් ගත්තා. ‘එයා ඇත්ත කෙනෙක් නෙවෙයි’.’ඒක ෆේක් එකවුන්ට් එකක්’. ‘ඔයා නිකං බොරුවට බලාපොරොත්තු තියාගෙන’. ‘අපි මුලින් කිව්වෙ නෑ ඔයාගෙ හිත රිදෙයි කියලා’. ‘වර්චුවල් සම්බන්ධකම් ඔහොම තමයි, එකවුන්ට් ඩිලීට් කරපු ගමන් ඔක්කොම ඉවරයි. හරියට පුම්බපු බැලුම් වගෙයි’.
මේ වගේ උපදෙස්, රුවන් වැකි අහසෙන්, පොළොවෙන් පැන නඟින්න ගත්තා. මං නොසැලී හිටියා. මොකද මම දැනගෙන හිටියනේ එයා හිටියේ ෆෝන් එක ඇතුළේ කියලා. ඒත් මම කල්පනා කරමින් හිටියේ වෙනත් දෙයක්. මේක මට කාටවත් කියාගන්න බැරි තරම් ලොකු ප්‍රශ්නයක්. එයාට වෙච්ච දේ ගැන මට දුකයි තමයි. එයා හදිස්සියේම අතුරුදන් වෙච්ච එක ගැනත් මට දුක තමයි.
ඒත් ටී රෙක්ස් ට මොකද වුණේ?

Electric-tag

කාංචනා අමිලානි
@moogater
පුවත්පත් සබැඳිය:

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "වර්චුවල් මල්"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com