චික බොනීටා

chika bonita
මම ඇස් පියාගෙන හිටියේ. එයා ළඟින් ආවේ අමුතු පර්ෆියුම් සුවඳක්. හැම තැනම අඳුරුයි. ඒත් ලයිට් කණු කිහිපෙකින් පොඩි එළියක් විහිදුණා. මට ඕන වුණේ එයාගෙ හැඩරුව බලාගන්න. කෝ කොහෙද මාව සාක්කුවෙන් එළියට ගත්තෙම නෑනෙ. ඒ අතරේ මාව නොනැවතීම වයිබ්‍රේට් වෙන්න පටන් ගත්තා. හා...ඔය මාව මතක් වෙලා තියෙන්නේ. අමොර් ගෙ ෆෝන් එකෙන් ඉබන් කෝල් ගන්නවා. මම කොහෙද අහලා පණිවිඩ එවනවා. ඔව්....දැන් ඉතින් මම කොහෙද කියලා මටම ලියලා යවන්න පුළුවන් කියලනෙ මේ මෝඩ ජෝඩුව හිතන්නේ. මම ආයෙත් අර අලුත් පර්ෆියුම් සුවඳ ගැන හිතන්න පටන් ගත්තා. එයා සල්ලිකාරයෙක් පාටයි. ඒත් හොරෙක්නෙ!!
අපි ගමන පටන් ගත්තෙ මෝටර් බයිසිකලේක. ලොකු පාලම්, ගංගා, සීත කාලගුණ පහු කරමින් අපි මහා දිග ගමනක යෙදුණා. මම සැරින් සැරේ ඇහැ ඇරියේ ඉබන්ගෙ, අමොර්ගෙ, චන්ද්‍රකාන්තිගේ, මිකී මවුස්ගෙ, බම්බල්බීගෙ කෝල්වලට. අමොර් නම් කළේ දිගටම පණිවිඩ එවන එක. එයා හිතන්නෙම මට ඒවට උත්තර එවන්න පුළුවන්‍ ය කියලා.
අපි යනකොට අවුරුදු උත්සවේ පටන් අරන් තිබුණේ. ඒත් එයා නෙවෙයි අවුරුදු උත්සවේ දිහා ඇහැක් ඇරලා බැලුවේ. කෙලින්ම ගියා කාමරේට. ඇඳුම් මාරු කළා. මාව ආයෙත් කමිස සාක්කුවට දා ගත්තා.
'අම්මේ...මම ආවෝ. කැට ගහන්න යනෝ.'
මම හොරා ගැන කල්පනා කරන්න පටන් ගත්තා. වටින පර්ෆියුම් එකක් පාවිච්චි කරන, අනුන්ගෙ ෆෝන් හොරකම් කරන, නමක්වත් නොදන්න නිසා මට බයකුත් නොහිතුණා නෙවෙයි. ඒත් දැන් මොනවා කරන්නද.
එයා කැට ගහන්න ගියේ කුඹුරක් ළඟ තිබ්බ ගෙදරකට. හැම ගෙදරකම අලුත තීන්ත ගාපු පාටක් තිබ්බේ. ගෙවල් ඇතුළේ දෝංකාර දෙන හිනා සද්ද බොහොමයි. ඔංචිල්ලාවක්, දෙකක් තැනින් තැන වැනි වැනි උන්නා.
'ආ....චික බොනීටා....කවදද ආවෙ? කෝ උඹේ ලදරම?'
චික බොනීටා එකෙකුටවත් උත්තර දෙන්න ගියේ නෑ. පර්ස් එකේ පිළිවෙලට අහුරලා තිබ්බ පන්සීයෙ, දාහෙ, පන්දාහෙ කොළ ටික එළියට අරන් උඩ සාක්කුවට දා ගත්තා. ලවක්-දෙවක් නැතිව ඔට්ටු අල්ලන්න ගත්තා.
'ආ...කොටා වැඩියි 500. මේ 500 ත් වැඩියි. තව කවුද ඉන්නෙ....ඔක්කොම කොටාට'
මහ අමුතු ඔට්ටු ඇල්ලිල්ලක්. මගේ ඉබන් නම් මේවා කරන්නෑ. මූ මහ සූදු අන්තුවෙක්ද කොහෙද. ඒ අතරේ ඉබන්ගෙයි, අමොර්ගෙයි කිසිම සද්දයක් නැති වුණා. මට ඒක තේරුම් ගන්න බැරි වුණා. මගේ බඩෙන් අමුතු සද්ද පිටවෙන්න ගත්තා. හරි...බැටරිය බැහැලා. දැන් මේක චාර්ජ් කරන්නෙ කවුද? ෆෝන් එකක් වුණාම තමන්ගෙ දුකෙන්, වේදනාවෙන්, කෝපයෙන්, සතුටින් හරි චාර්ජ් වෙන්න පුළුවන් විදිහට හදන්න ඕනා.
'චික බොනීටා ඉවරයි...' කියලා ළඟම හිටපු රැවුල්කාරයා සද්දෙන් කිව්වා.
එයාගෙ මූණ දුකෙන් පිරිලා තියෙනවා මට පෙනුණා. ආයෙමත් සාක්කුව අතගාලා සල්ලි නෑ කියලා තේරුණාම එයා මාව එළියට ගත්තා. මට යම් අනතුරක් දැනීගෙන ආවා. එයා මාව ඔට්ටුවට තියන්නයි හදන්නේ!! අනේ දෙයියනේ!! කියලා හිතන කොටම යටි ගිරියෙන් කෑ ගහගෙන පොඩි කොල්ලෙක් කැටපොළ පැත්තට දුවගෙන ආවා.
"බොනීටා අයියේ...බොනීටා අයියේ...පොලීසියෙන් එනෝ...දුවපියෝ....හයියෙන් දුවපියෝ..." කියද්දිම චික බොනීටා සරම කැහැපට ගහගෙන දුවන්න පටන් ගත්තා. ඒත් කුඹුරෙ හැංගිලා හිටපු පොලිස්කාරයෝ දෙන්නෙක් ගුඩු සෙල්ලම් කරන්න වාගෙ චික බොනීටගෙ ඇඟට පැන්නා. හාල්මැස්සෙක් වගේ ඒ මැද්දෙන් ලිස්සලා යන්න බොනීටට පුළුවන් වුණා. ඇත්තම කිව්වොත් ඒ වෙලාවෙ මට එයා ගැන ආඩම්බර හිතුණා. හොරෙක් වුණත් එයා නිර්භීත මිනිහෙක්. ඒත් කමිස උඩ සාක්කුවේ හිටපු මාව එක පාරටම බිම වැටුණා. මට ඒක පෙනුණෙ ස්ලෝමෝෂන්.
එයාට ඒ වෙලාවෙ ගන්න තිබ්බෙ තීරණ දෙකයි. එක්කො මාව දාලා දුවලා පොලීසියෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාව අහුලගන්න නතර වෙලා පොලීසියට අහු වෙන්න පුළුවන්. බැටරි බහින්නත් ළඟයි. මගේ හදවත හොඳටෝම දුර්වලයි.
එයා නැවිලා මාව අහුල ගත්තා.
............................................................................................................................
ට්ට්ට්ට්‍රාං...........
ඔක්කොම ආපස්සට ගමන් කරන්න පටන් ගත්තා.
ඒ වේගෙට මගේ ඔළුවත් කැරකෙන්න පටන් ගත්තා. හරියට මාරක ළිඳේ මෝටර් සයිකල් පදිනවා වගේ.
මම හිටියෙ ඩමිය ළඟ තිබ්බ උස පු‍ටුව උඩ. එතකොට වටපිටාව අඩ අඳුරක ගිලිලා තිබ්බේ. ඉතාම කාර්යබහුල වෙලා තිබ්බ ඇඳුම් සාප්පුවේ ඉතිරි වෙලා හිටියේ ඩමියයි-මමයි විතරයි. ඩමිය කට රවුම් කරමින් කාටදෝ බණිනවා. හරි...ඒ බණින්නෙ මට. මට එයාගෙ බෑණුම් ගැන හිත යොදවන්න පුළුවන්කමක් ඒ වෙලාවෙ කොහෙත්ම තිබුණේ නෑ. මම හිටියේ ඉබන්ට වෙන ළඳක් එවපු ඊමේලයක් කියවමින්. ඒකෙ තිබුණ ජාති!! සැරින් සැරේ මගේ මුහුණෙන් එළියට හිනාව විසිරුණා.
දොර ඇරගෙන 'ටක....ටකස්' සද්දෙන් ආවේ තරමක් පැහැපත් කාන්තාවක්. එයා ඇඳගෙන හිටියේ කොට සායක් සහ තනි පාට බ්ලවුස් එකක්. ආසා හිතෙන පර්ෆියුම් සුවඳක් එයාගෙ ළඟින් හමාගෙන ආවා. එයා ඩමිය දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ එයාගෙ අතේ තිබ්බ ෆෝන් එක උස පු‍ටුව උඩින් තිබ්බා. ඒ කියන්නෙ මගේ ළඟින්ම. මම ඇස් හරවලා බැලුවා. එයත් ඇවකාඩෝ 2.0 එක්කෙනෙක්. එයාවත් වයිබ්‍රේට් වෙමින් හිටියේ. මම පුරුද්දට වගේ එයාගෙ ස්ක්‍රීන් එකට එබිලා බැලුවා.
'ඉබන් බතූතා' ස්ක්‍රීන් එකේ නොනවත්වාම වයිබ්‍රේට් වෙමින් හිටියා. ඉබන් හිටියේ එයාගෙ කර වටේ අත දාගෙන එයාව තුරුලු කරගෙන. ඒක වෙන රටකදි ගත්තු පින්තූරයක්. එයාලා සීතලට අඳින කබා ඇඳගෙන, මෆ්ලර් බෙල්ල වටේ ඔතාගෙනයි උන්නේ. එතකොටම 'ටකස්...ටකස්...' ගාලා එයා ආවා. කළු-සුදු ඉරි තියෙන, බොලට වෙනකන් දිග ගවුමක් අරගෙන ඇවිත් ඩමියට ඇන්දුවා. ටිකක් පස්සට ගිහිල්ලා ඩමිය හැඩද කියලා ඔළුව ඇල කරලා බලාගෙන හිටියා. ආයෙත් ඇඳුම් කඩය පුරා ඇවිදලා දිග මාලයක් අරගෙන ඇවිත් බෙල්ලට දැම්මා. ආයෙ ඒක ගැලෙව්වා. එයාගෙ හිත චංචලයි කියලා මට හිතුණා. ඒත් ඉබන් ගෙ පින්තූරෙ එයාගෙ ෆෝන් එකේ තිබ්බ එක මට හිතින් අමතක කරන්න බැරි වුණා.
'දැන් හරි'
එහෙම කියපු කාන්තාව පු‍ටුව උඩ හිටපු මාව අරගෙන හෑන්ඩ් බෑග් එකේ දාගත්තා.
'ටකස්.....ටකස්...ටකස්' සද්දෙන් ඇඳුම් කඩේ දොර දිහාවට ඇවිදින්න පටන් ගත්තා. ඩමිය යටි උගුරෙන් කෑ ගහන්න පටන් ගත්තෙ ඔන්න එතකොටමයි.
"මෙන්න හොරෙක්......හොරෙක්.....අල්ලපියෝ....ගහපියෝ....මරපියෝ....බෙල්ල කඩපියෝ....ඊ....ඊ....ඊ..."
මගේ බැටරි බැස්සා.
Electric-tag
කාංචනා අමිලානි
@moogater

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "චික බොනීටා"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com