පපායා දැල්වූ ගිනි

1 5DALE9-unB0pq17mCZBz1Q
පාන්දර 5.16 ට අමොර් පණිවුඩයක් එවලා. මම නිදිමරගාතෙම ඒක කියවලා තිරය නිවා ගත්තා. ඒත් නිකමට වාගෙ ආයෙ තිරය පත්තු කර ගත්තා.
‘අපි මේ සම්බන්ධය නවත්තමු’
අමොර් කවදාවත් නැතිව හරි සිංහලෙන් පණිවුඩයක් එවලා. වෙනදට එයාගෙ පණිවුඩ එක්කො සිංග්ලිෂ්, නැත්නම් බරසාර ඉංග්‍රීසි. කෙටි පණිවුඩයක් ඇවිත් කියන්න කීප පාරක්ම සද්ද කරන්න මට සිද්ධ වුණා. රෑ ජාමෙ හතර වටේ පාටිවලට ගිහිල්ලා බීලා ඇවිල්ලා ඉබන් හොඳටම නිදි. එයා ඇඳේ ඉදන්ම මාව අල්ලලා බලලා ආයෙ නිදා ගත්තා.
මේ මිනිහට ගාණක්වත් නැති හැටි අම්මපා!! අරහෙ රත්තරං වටින ගෑනියෙක් කියනවා සම්බන්ධෙ නවත්තමු කියලා. මූ ගොරොද්දෙ ඇද, ඇද නිදි. ඒ මදිවට වෙන කාගෙදෝ ගෑනු කෙනෙකුගේ නමකුත් කියලා ඊයෙ රෑ ජාමෙ කෑ ගැහුවා.
මොකක්ද ඒ නම…… හරි… ‘ලියෝන්’ කියලා තමයි කෑ ගැහුවේ. ඒත් ඒක පිරිමි නමකුත් වගේනේ. එයා පිරිමි නමක් කියලා කෑ ගහාවිද? ඉබන්ගෙ ලැප්ටොප් එකේ මොනවද වීඩියෝ වගයක් ඔය නමින් තිබ්බා මට මතකයි. ඒවා තිබ්බේ එස්. ලියෝන් කියලා. සැන්ඩ්‍රා ලියෝන් වෙන්න ඇති. ඒ ගෑනු කෙනා ටිකක් සැර කෙනෙක් මම හිතන්නේ. හැම වෙලේම කාට හරි හයියෙන් කෑ ගහනවමයි ඇහෙන්නේ.
ඒ පාර කෝල් එකක්. අමොර් කතා කරනවා. මම පපුව පුම්බලා වාදනය හයියෙන් ඇහෙන්න සැලැස්සුවා. ඉබන් ඊගහක් වගේ නැගිට්ටා.
‘හායි…ඩාලිං’
‘නෑ. නෑ. නිදාගෙන නෙවෙයි හිටියේ. ඔව්. ඔව්. මේ දැන් නැගිට්ටේ. එස්. එම්. එස්… නෑ.නෑ. බැලුවේ නෑ ලව්.’
‘ඉන්න. ඉන්න. මම එන්නම්. ඔයා ගෙදරම ඉන්න. මොනවා!! බෑ!! හා..හා..’
ඉබන්ගෙ නළලෙන් දාඩිය වැක්කෙරෙන්න පටන් ගත්තා. ඇදේම වාඩි වුණ ඉබන් ෆෝන් එක දිහා අරමුණක් නැතිව බලාගෙන හිටියා. කලින් ආපු කෝල්ස් කීපයක් මකලා දැම්මා. ගැලරි එකේ තිබ්බ පින්තූර වගයක් තෝරලා ඇවකාඩෝ 0.3 ට යවන්න කියලා මට අණ කළා. ඇවකාඩෝ 0.3 කිව්වා ‘මැජික්ඩ්‍රොප්’ කරන්න කියලා. මම මැජික්ඩ්‍රොප් කරන්න එයාගෙන් අවසර ඉල්ලුවා. ඊට පස්සෙ පින්තූර ටික දුන්නා. 0.3 ඒ අතරේ මගෙන් ඇහුවා එයාගෙ ළඟ තියන තව සමහර දේවල් බලන්න ඕනද කියලා. මම ඔළුව වනලා හා කිව්වා.
එයා මට ඉබ්බො දාපු ෆෝල්ඩර් එකක් ඇරලා පෙන්නුවා. ඒකෙ තිබ්බෙ බියංකා ඉබන් එක්ක ගත්තු පින්තූර. එයාලා මීමුරේ ගිය වෙලාවෙ දිය ඇල්ලක් උඩ තුරුල් වෙලා අරන් තිබ්බ පින්තූර, වතුරක ගිලිලා ඉන්න පින්තූර, කඹයක එල්ලිලා දිය ඇල්ලකින් පනින පින්තූර. අන්තිමට තිබ්බෙ ඉබන් ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න පින්තූරයක්. ආ…අර ඉන්නෙ මමත් සාක්කුවෙන් බිමට වැටිලා.
— — — — — — — — — — — — — — — — — — -
ඉබන් නාන කාමරේ දොර කඩාගෙන වගේ ඇතුළට ගිහින් නාන්න පටන් ගත්තා. මැජික්ඩ්‍රොප් තාම ඕෆ් කරලා නැති නිසා ඇවකාඩෝ 0.3 මට තව ඊමේල් කීපයකුයි, වෙබ් ලින්ක් සහ ඉබ්බො දාපු නෝට් හය, හතක් එව්වා. හනික ඒවා සේව් කරගන්න මට පුළුවන් වුණා.
ඉබන් නාන කාමරෙන් එළියට ආවෙ ඇඳුම් ඇඳගෙන. තෙත කොණ්ඩෙ අතින් ගසමින්. ඒත් එක්කම ඉස්සරහා දොර ඇරගෙන අමොර් ආවා. එයාගෙ මූණ තඩිස්සි වෙලා. ඇස් ගිනි රතු වෙලා. ඇඳුම් හොඳටම පොඩි වෙලා. මූණත් සුදුමැලි වෙලා.
‘ඉබන්..ඔයා මහ වංචාකාර, තක්කඩි මිනිහෙක්. අදින් පස්සෙ අපේ සම්බන්ධෙ ඉවරයි. මෙන්න ඔයාගෙ ගෙදර යතුර. කරුණාකරලා මට මගේ ගෙදර යතුරත් දෙන්න.’
ඉබන් ගරු රඟපෑමක. එයා පිස්සෙක් වගේ අඬන්න පටන් ගත්තා. අමොර්ගෙ කකුල් දෙක ළඟ බිම වැටුණා. වැටිලා එයාගෙ ඔළුව ටයිල් පොළොවෙ හප්පන්න වුණා. කෙස් ඇදගන්න වුණා.
‘අනේ අමොර්…මාව දාලා යන්නෙපා. මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ. මම කවදාවත් ඔයාට වංචාවක් කරලා නෑ. මම දිවුරන්නම්.
‘අමොර්ගෙ මූණ තව රතු වෙලා කේන්තියෙන් වෙව්ලන්න පටන් ගත්තා. එයා ඉබන්ව පැත්තකට තල්ලු කරලා දාලා ඉස්සරහා දොර ගාවට ගිහින් හිටගත්තා. හයියෙන් හුස්ම ගන්න වුණා. ආයෙමත් හැරිලා ඉබන් ගාවට ආවා.
‘මම ඔක්කොම දන්නවා. ඔහේ මහ වනචරයෙක්. එක පාර ගෑනු හතර, පස් දෙනෙක් එක්ක යාළු වෙන එක වංචාවක් නෙවෙයි කියලා කියනවා නම් හෙට උදේ වෙද්දි ඔහේගෙ දිව හැලෙන්න ඕනා. මගේ ළඟ සාක්කි ඕන තරම් තියෙනවා. ඔහේව මට දැන් අප්පිරියයි.’
‘ඔයාට කවුරු හරි කේලමක් කියලද කොහෙද අමොර්. මම ඔයාට වංචා කළේ නෑ. අනේ.. අමොර්…මාව දාලා යන්නෙපා’
අමොර් තමන්ගෙ හෑන්ඩ් බෑග් එක අවුස්සන්න වුණා. සුදු ලියුම් කවරෙක දාපු පින්තූර වගයක් එයා ඉබන්ගෙ මූණ ඉස්සරහට විසි කළා. ඉබන් හනික ඒවා අහුලා ගත්තා.
මුලින්ම බියංකා එක්ක මීමුරේ ගිහින් ගත්ත පින්තූර හතරක්. ඊළඟට මිකී මවුස් එක්ක ඇල්ල-වැල්ලවායෙ ගිහිල්ලා නටපු ජවුසමක පින්තූර. අන්තිමට ලීනා එක්ක ‘ආර් ඇන්ඩ් බී’ ගිහින් තුරුළු වෙලා නටන පින්තූර.
ඉබන් ආයෙමත් පුදුම වෙලා වගේ ගරු රංගනයක. ඒ මදිවට දැන් හරකෙක් වගේ අඬා වැළැපෙනවා. ටාසන් වගේ පපුවට තඩිබා ගන්නවා.
අමොර් වේගයෙන් දොර දිහාවට ඇවිදගෙන ගියා. ඊළඟට සාලෙ පොඩ්ඩක් නැවතිලා මැටි පිළිරුවක් අතට අරගෙන ඉබන්ගෙ විසාල ටීවී ස්ක්‍රීන් එක කුඩු වෙලා යන්න බවුන්සර් එකක් දැම්මා. එළියට බැහැලා ගේට්ටුවටත් ‘දඩෝං’ ගහලා ලොකු ගඩොලකින් ගහලා කොට්ටම්බා ගහ යට නවත්තලා තිබුණ තමන්ගෙ කාරයට ගොඩ වුණා. දැන් අමොර් වාහනය පණ ගන්වන එක පැත්තක තියලා ඉකි ගහමින් අඬනවා. සුක්කානමේ ඔළුව තියාගෙන තනියෙම කියවනවා.
‘සක්කරවට්‍ටම්, මායම්කාරියෝ, ලැජ්ජා නැති ගෑනු, වනචරයා, ගල් මූසලයා…මම පළි ගන්නවා’
ඊට පස්සෙ’චරාස්…බරාස්… සද්දෙන් වාහනේ රේස් කළා. දැන් වාහනේ පාර පුරාම.
ඒ අතරේ මම නිකමට වටපිට බලද්දි අලුත්ම පපායා 1.69 ක් බිම වැටිලා තියෙනවා දැක්කා. එයා හොඳටම බය වෙලා. පපුව ගැහෙනවත් එක්ක. මම සම්පූර්ණ ශක්තියම යොදලා බිමට පැන්නා. පපායා ෆෝන් එකක් එච්චර බය වෙලා ඉන්නවා මම දැක්කමයි. මොකද එයාලා මහ චණ්ඩි වගේනෙ හැසිරෙන්න පුරුදු වෙලා ඉන්නේ.
‘යමු මේසෙ උඩට’
මම කියපු ගමන් පපායා මගේ අතින් අල්ලගෙන මේස තරණයට ලෑස්ති වුණා.
‘ඇයි අමොර් මාව දාලා ගියේ?’
එයා සිහින් කටහඬින් මගෙන් ඇහුවා.
‘එයා හෑන්ඩ් බෑග් එක අදිනකොට නොදැනීම ඔයාව බිම වැටෙන්න ඇති.’
පපායා එයාගෙ නළල රැළි ගැන්නුවා.
‘නැහැ. ඕනකමින්ම මාව දාලා ගියා.’
හදිස්සියේම පපායා ඇතුළෙන් සුළු ගින්දරක් දැල්වෙන්න පටන් ගත්තා. ඒ ගින්න ටිකකින් පොළොවෙ තිබ්බ කාපට් එකකට බෝ වුණා. මම කටින් පිඹලා ගින්න නිවන්න උත්සාහ කළා. ඒත් එන්න, එන්න ගින්න වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. දුම් හැම තැනම. පුංචි වලාකුළු වගේ. ඒ මැද්දෙන් ගින්දර. මට හොඳටම බය හිතුණා. ‘පපායා 1.69 ඔයා කොහේද?’ කැස්ස නොතකමින් මම කෑ ගහලා ඇහුවා. හීනෙන් වගේ මම දැක්කා පපායා 1.69 කුස්සිය පැත්තෙ දොරෙන් එළියට දුවනවා.
‘ඇවකාඩෝ ගේ ගිනි තිබ්බෝ. මෙහෙ වරෝ….එයාව අල්ලගනියෝ. ගහපියෝ. මරපියෝ. කොටපියෝ….මෙන්න ගිනි ගන්නවෝ’

 

කාංචනා අමිලානි
@moogater
පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "පපායා දැල්වූ ගිනි"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com