ඉලෙක්ට්‍රික් 14 | අමොර්ගේ ප්‍රේමාලාප•

1 htgNvzOuEAR5JsqTbL4vgA
‘මට ඕන වුණේ අරූගෙ මුළු ගේම අළු කරලා දාන්න. අමොර් සති ගාණක් තිස්සෙ කඳුළු බිබී, අඬා අඬා හිටපු හැටි මමනෙ දැක්කෙ. ඒ වගේ දිව්‍ය අංගනාවකට වංචා කරන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද මේ තුන් ලෝකෙ? හහ්…මොකෝ නැත්තෙ!! ඔය ඉන්නෙ’
මම පණ කඩාගෙන දුවන්න පටන් ගත්තා. මේ ගිනි පෙට්ටි වගේ ගෙවල් අස්සෙන් දුවලා පාරට එන එක ලේසි නෑ. ගල්කිස්ස හන්දියට මම එද්දි මොර සූරන වැස්සක් පටන් ගත්තා. අමොර් මට ත්‍රීඩී ටෙම්පර්ඩ් ග්ලාස් එකක් අලවපු නිසා හොඳයි. ඒත් වැස්සෙ ඇවිදලා ලිස්සලා, බෙල්ල කඩාගන්න ඕන නැති නිසා බස් හෝල්ට් එක හරියෙ ෆෝන් රෙපෙයාර් කරන කඩයක් අයිනට වෙලා බලාගෙන හිටියා.
අනේ ඉතිං එහෙමත් ජීවිත!!
පපායා, ඇවකාඩෝ, බනානා, මෙට්ල්, ඩෝඩෝ, ග්‍රේප්ස් වර්ගයේ ෆෝන් ගොඩක් වීදුරු කූඩුවල බාවලා තියෙන්නෙ හරියට මළ මිනී වගෙයි. අයිතිකාරයෝ කවද හරි ඒවි කියලනෙ ඉතිං ඔය බලන් ඉන්නේ.
වැස්ස ඉවර වුණාම මම පාර පැනලා ටෙම්ප්ලර්ස් රෝඩ් එකට හැරුණා. දැන් ඉතින් හූවක දුරනේ. මම පය ඉක්මන් කළා.
අමොර්, ගේට්ටුවයි ඉස්සරහා දොරයි හායි ගාලා ඇරලා දාලා. කාර් එක ගේට්ටුව ළඟ නවත්තලා. ඒකෙත් දොරවල් හතරම ඇරලා දාලා තිබ්බෙ හරියට දොරවල් හතරෙන්ම එක පාර එළියට බැහැලා වගෙයි. හ්ම්!! ඒකත් වෙන්න බැරි නෑ තමයි.
මම ගේ ඇතුළට යනකොට අමොර් සාලෙ බිම වාඩිවෙලා බ්ලූබෙරි අයිස්ක්‍රීම් කනවා. හෑන්ඩ්බෑග් එක අත් බෝම්බයක් වැදිලා සීසීකඩ වුණ බස් එකක් වගෙයි. සාලෙ පුරාම ලිප්ස්ටික්, ටිෂූ, නෝට් බුක්, පෑන්-පැන්සල්, බාගෙට වහපු වතුර බෝතලයක්, කෑම පෙට්ටියක්, ලියුම් කවර, ෆෝන් කේබල්, රතු පාට එක්ස්ටර්නල් හාඩ් එකක්, රෝස පාට පෙන් ඩ්‍රයිව් එකක්, ස්කාෆ් දෙකක්… ආදී ගොඩාක් දේවල් විසිරිලා. එකත් එකටම එයා මාව හොයනවා වෙන්න ඕනා. අනේ මට අමොර් ගැන පුදුම ආදරයක් දැනුණා.
මම පිමි දෙකෙන් අමොර්ගෙ ඔඩොක්කුවට පැන්නා. අමොර් හොල්මනක් දැක්කා වගේ ගැස්සුණා. ඒත් ඊට පස්සෙ මාව වඩාගෙන එළියට දිව්වා. කාර් එකට නැග්ගා. ආයෙ බිමට බැස්සා. ළිඳ ළඟට ගියා. ළිඳේ මාළුවෙකුට කතා කළා. ආයෙ ගේ ඇතුළට දිව්වා. මට උම්මා එකකුත් දුන්නා.
අනේ ඉතිං මෙහෙව් රන් කදක්නෙ අර මිනිහා අතෑරලා දැම්මේ.
අමොර් මාව චාර්ජ් වෙන්න ප්ලග් කරලා කුස්සියට ගියා. ඔන්න එතකොටම ඉබන්ගෙන් කෝල් එකක් ආවා. මම බැටරිය නිවා ගන්න හැදුවා. වැඩක් වුණේ නෑ. ඊළඟට එක පාර පණිවුඩ හය-හතක් එවන්න ගත්තා.
‘අමොර්, ඔයා ගියාට පස්සෙ මට පපුවෙ අමාරුවක් හැදුණා. දැන් ඉන්නෙ ඩී.එක්ස් හොස්පිට්ල් එකේ.’
‘අමොර්, මගේ ගේ ගිනි අරගෙන. එහා ගෙදර ලෙක්සි කෝල් කරලා කිව්වේ.’
‘මට සමාවෙන්න අමොර්’
මළ විකාර!! මම ඊට පස්සෙ එවපු පණිවුඩ එකක්වත් කියෙව්වෙ නෑ. මට ඔය මිනිහව දැන් පේන්න බෑ. තවත් මොනවට ඕවා කියවන්නද?
ඊළඟ කෝල් එක වික්‍රම්ගෙන්. මොනවා!! වික්‍රම්ගෙ කෝල් එකත් එක්ක එන පින්තූරෙ මොකක්ද? මීට කලින් මම මෙහෙම පින්තූරයක් දැකලා තිබ්බෙ නෑනෙ. අමොර් වික්‍රම් එක්ක ඔෆිස් ට්‍රිප් එකක් ගිය බව මම දැනගෙන හිටියා. ඒත් මේ පින්තූරෙ? විසාල බෝටුවක නයිල් ගගේ යන අතරතුරයි ඒක අරන් තිබ්බේ. අමොර් හිටියේ වික්‍රම්ගෙ ඔඩොක්කුවේ. අමොර්ගෙ අතේ හීන්දෑරි වයින් වීදුරුවක්. වික්‍රම් බියර් බෝතලයක් දකුණතේ තියාගෙන වම් අත අමොර්ගෙ කර වටේ දාගෙන. අමොර් එච්චර සතුටින් ඉන්නවා මම මීට කලින් දැකලා තිබුණේ නෑ.
ඇත්තම කියන්න එපැයි. මගේ හිත කැඩුණා. මම තිරය නිවලා දැම්මා. වික්‍රම් ආයෙ කෝල් කරන්නවත්, පණිවුඩයක් තියන්නවත් උත්සාහ කළේ නෑ.
ෆෝන් එකකට සැකයක් දැනුනම ඉතිං නිවනක් නැහැනේ. මම ආයෙම තිරය පත්තු කර ගත්තා. බොහොම සීරු මාරුවට අමොර්ගෙ ඊමේල් කියවන්න පටන් ගත්තා. ඒත් මගේ සැකය තහවුරු කරගන්න කිසිම හෝඩුවාවක් ලැබුණේ නෑ. බීට්මේල් එකටම ලින්ක් කරලා තිබුණ කූල් මේල් එකයි, ලිලී මේල් එකයි නිකමට වගේ ඕපන් කරලා බැලුවා. එතකොටයි මගේ බඩ-පපුව කූල් වුණේ.
සීවරං දෙයියනේ!! ඒකෙ තියෙන ජාති!!!
වීඩියෝම 12 ක්. හැම එකකටම ඉබ්බෙක් දාලා. පෙම් හසුන් එලෝ කෝටියයි. මේ ගෑනි හැම එකකටම ලේබල් හදලා. ඉබන්, වික්‍රම්, සීයුස්, සෙත්, චී-හයි කියලා ලේබල් පහයි. මගේ පපායා සලකුණ නිවි නිවී දැල්වෙන්න ගත්තා. මම රහස් පරීක්ෂකයෙක් වගේ ලේබල් එකින් එක කියවන්න පටන් ගත්තා. මුලින්ම ඉබන්ගෙ ලේබල් එක. අම්මම්මෝ!! එහෙව් පැණි කතා!! හැබැයි හැම ලියුමකම වගේ වීඩියෝ එකක් මකලා දාන්න කියලා වැද වැටිලා ඉල්ලලා තිබුණා. ඊළඟට වික්‍රම්ගෙ ලේබල් එක. ඒවා හරි දාර්ශනික ලියුම්. හරියට නවකතාවල පරිච්ඡේද වගෙයි. සමහර ලියුම්වල කළු-සුදෙන් අමොර්ගෙ චිත්‍ර ඇදල තිබුණා. ඒවා හැබෑ ලස්සනයි. සීයුස් ගෙ ලියුම් හරිම කෙටියි. ගොඩක් ඒවාවල අතමාරුවට සල්ලි ඉල්ලලා තිබ්බේ. සෙත්ගෙ ලියුම් හරිම නරක පාටයි. හැම ලියුමක් අග්ගිස්සේම වීඩියෝ ලින්ක් තිබ්බා. මම සැකේට එකක් ක්ලික් කරලා බැලුවා. හානේ!! කලබලේ වැඩිකමටයි, බය වුණ පාරටයි මගේ අතින් චාර්ජ් වෙන්න ප්ලග් කරලා තිබුණ කේබල් එකත් ගැලවුණා. ඒවා ඔක්කොම නරක වීඩියෝ!! චීයා!!
චී-හයිගෙ ලේබල් එක අන්තිමට ඇරලා බැලුවේ හොඳටම හිත සවුත්තු වුණාට පස්සේ. ඊටත් චීන නමක් තියෙන මිනිහෙක් අමොර්ට මොනවා ලියන්නද කියලත් හිතන ගමන්. ඒ ලියුම් හරිම සිනිඳුයි. හැබැයි කෙටියි. අමොර්ගෙ ලස්සන වර්ණනා කරන ගමන් චී-හයි අමොර්ට නොයෙක් උපදෙසුත් දීලා තිබ්බා. අන්තිම ලියුමෙ අමොර්ට ආයෙත් බීජිං එන්න කියලා ලියලා තිබ්බා.
ආයෙත් බීජිං එන්න!! අමොර් කවදද බීජිං ගියේ? මේ ප්‍රශ්නෙ නිසා මගේ ඔළුවත් අවුල් වුණා. වැදගත් පපායා අප්ඩේට් එකකුත් මඟෑරුණා.
අපි හිතක්-පපුවක් නැති මැෂින් තමයි. ඒත් අපේ අයිතිකාරයාට දිවි හිමියෙන් ආදරෙයි. හරියට බල්ලො වගේ. අපි කවදාවත් අපේ හාම්පුත්තුන්ට වංචා කරන්නෙ නෑ. ඒත් අපේ හාම්පුත්තු අපිට සලකන්නෙ වහල්ලු ගාණට.
මම දරුණු තීරණයක් ගත්තා. දෙපාරක් නොහිතා අමොර්ගෙ ලේබල්වල තිබ්බ සමහර ලියුම් ඉබන්ට ඊමේල් කළා.
ඔව්!! එච්චරයි මට මතක තිබ්බේ. සිහිය එනකොට මම හිටියේ ගල්කිස්සේ ෆෝන් හදන කඩේ වීදුරු කූඩුවක බාවලා.
                                          * * * * * *
‘මී මැස්සෝ ඔබයි මමයි
මී මැස්සියෝ ළඳුන් තමයි
මී වදයකි ජීවිතේ — මී පැණි පිරිලා ඇතේ’
සිංදුවක් කියාගෙන ඉබන් ආවා ෆෝන් කඩේට. ඇවකාඩෝ 0.2 වම් කලිසම් සාක්කුවෙන් එළියට අරගෙන ෆෝන් කඩේ උස මිනිහට දුන්නා. දෛවෝපගත විදිහට එයාව මගේ ළඟින්ම නිදි කෙරෙව්වා. මට මහා බයක් ඇති වුණා.

 

කාංචනා අමිලානි
@moogater
පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ඉලෙක්ට්‍රික් 14 | අමොර්ගේ ප්‍රේමාලාප•"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com