ඉලෙක්ට්‍රික් 16 | ෆෝන් කඩේ පපායා

1_Qpy-PF_wHsk2Wf3pOJlP_Q
‘මට සමාවෙන්න ඇවකාඩෝ’
වීදුරු පෙට්ටිය උඩින් එයාව තියපු ගමන්ම මම කිව්වා. ඒ වෙලාවෙ මගේ කටහඬේ තිබ්බෙ සීතල වෙව්ලීමක්. ඇවකාඩෝ පුරුදු හිනාවෙන් මගේ දිහා බැලුවා.
‘ඒකට කමක් නෑ පපායා. ඔයාට ඕන වුණේ අමොර්ගෙ හතුරගෙන් පළිගන්න කියලා මම දන්නවා. ඒත් අමොර් ඔයාව පාවිච්චි කළා විතරයි. බලන්න දැන් අන්තිමට වෙච්ච දේ!’
මගේ පරිපථ කැඩිලා-බිඳිලා, බෙල්ල ළඟ බොත්තම පවා කුඩු වෙලා තියෙද්දිත් මම ඔළුව උස්සලා ඇවකාඩෝ දිහා බැලුවා. ඒත් ඇවකාඩෝ කියන දේවල් ඒ විදිහටම මට තේරුම් ගියේ නෑ. අමොර් මගේ ස්වාමියා; මම එයාට කීකරු වෙන්න ඕනා. අනික අපි මැෂින් විතරයිනෙ. අණ දුන්නොත් විතරයි ක්‍රියාවක් වෙනකන් දුර යන්න පුළුවන් වෙන්නෙ.
ඇවකාඩෝ එක පාරක් තමන්ව වයිබ්‍රේට් කරගෙන පෙන්නුවා. ඒක දැකලා මගේ ඇස් දොට්ට පැන්නා.
‘ඔයා කොහොමද එහෙම කළේ?’
ඇවකාඩෝ දසන් දක්වා හිනා වුණා. ඒත් කිසි උත්තරයක් දුන්නෙ නෑ. ඊළඟට එයා ඉබන්ගෙ ඇවකාඩෝ ඩ්‍රයිව් එක ඇරලා පෙන්නුවා. ‘අමොර්’ කියලා නම දාපු ගිගා බයිට් 50 ක ෆයිල් එකක් ඒකෙ ඇතුළෙ හංගලා තිබ්බා. පුරුදු විදිහට ඒකට ඉබ්බො දාලා හිටියේ.
එයා ඉලක්කම් හතරක පාස්කෝඩ් එකක් ටයිප් කරලා ඒ ෆෝල්ඩර් එක ඇරලා පෙන්නුවා. එතකොටම වීදුරු පෙට්ටිය උඩට අතක් ආවා. ඒ අත ඇවකාඩෝව ගිල ගත්තේ පිඹුරෙක් ගොදුරක් අල්ල ගන්නවා වගේ ආවේශයකින්. මට හයියෙන් කෑ ගැහුණා. ඒත් එක්කම මාව නොනවත්වාම වයිබ්‍රේට් වෙන්න ගත්තා.
‘මෙන්න ඇවකාඩෝව රතු පාට පිඹුරෙක් ගිලිනෝ!! අයියෝ!! ඉවරායි!!’
මම කෑ ගහනකොටත් ඇවකාඩෝ හරිම සන්සුන් විදිහට උන්නා. රතු පිඹුරා එයාව ගිලින්න හැදුවට ගිල්ලෙ නෑ. වීදුරුවක් උඩ උඩුබැල්ලෙන් දිගා කරලා මූණයි-ඇගයි අතගාන්න පටන් ගත්තා. ඊට පස්සෙ මල් ඉස්කුරුප්පු නියනක් අරන් මහපට ඇගිල්ලයි, දඹරැගිල්ලයි අතරෙ තියාගෙන කරකවන්න පටන් ගත්තා. ඊටත් පස්සෙ ඇවකාඩෝගෙ හදවත පලලා එළියට ගත්තා. මං කොහොමද අනේ මේවා බලන්නෙ? මට කලන්තෙ හැදුණා. සිහිය එනකොට හොඳටම හවස් වෙලා. මම ඔහේ බලාගත්තු අතේ බලාගෙම උන්නා.
හදිස්සියේම කඩේ දොර ඇරුණා. ලිලී බී. එක්ස් එකක් කනේ ගහගෙන අමොර් ආවා. ඇවිත් නොරිස්සුමෙන් වගේ වට-පිට බැලුවා. ආයෙ වටයක් කැරකුණා. කොණ්ඩෙ හැදුවා. ‘ම්..ම්…’ කියලා යමක් මතක් කරන තාලෙන් පුටුවෙ වාඩි වුණා. ඒත් එක්කම කුණාටුවක් වගේ වික්‍රම් ආවා. කඩේ දොර ගැලවිලා ගියාද මන්දා. ඇවිත් අමොර්ගෙ පුටුව ළඟින්ම ඇගේ ගෑවි, ගෑවි වාඩි වුණා. මළ සමයං!! මට පේන්න වෙන්න ඇති!! ලැජ්ජා නැතිකම, වෙන මොකක්ද ඉතිං. මට තිබ්බෙ ඉතිරි ඊමේල් ටිකත් ඉබන්ට යවන්න.
අමොර්, වික්‍රම් එක්ක හුරතල් වෙන ගමන් රතු ජැකට්කාරයාට ඔළුවෙන් අඩ ගැහුවා. ජැකට්කාරයා කාන්දමකට ඇදෙන්නා හේ අමොර් ළඟට ආවා.
‘මිස්ටර් මානවඩු, මට පපායා ෆෝන් එක ඉක්මනට හදල දෙනවද? අලුතින් කෑලි දැම්මත් කමක් නෑ. හැබැයි රීසෙට් කරන්න එහෙම එපා. තේරුණාද? රීසෙට් කරන්න එපා’
මිස්ටර් මානවඩු කුප්පමේනියා ගහක් දැක්ක බළලෙක් වගෙයි අමොර් ළඟදි හැසිරුණේ. අමොර් කියන හැම දේටම ‘හරි මැඩම්’ කියපු මානවඩු වික්‍රම් දිහා බැලුවේ සත්තු වත්තක කූඩුවකින් පැන්න වලහෙක් දිහා බලනවා වගේ තැතිගැන්මකින්. වික්‍රම් හිටියේ අමොර් දිහා බලාගෙන. ඇස්වලින් අමොර්ව ගිල ගනිමින්. අමොර් හිටියේ මගේ දිහා බලාගෙන.
‘යමු’ කිව්වා විතරයි වික්‍රම් කඩේ දොර ගලවගෙන වගේ එළියට බැස්සා.
රතු ජැකට්කාරයා ආයෙත් මල් ඉස්කුරුප්පු නියන කරකවන්න ගත්තා. මේ යකා මගේ හදවතත් ගලවන්නද කොහෙද හදන්නේ. මාව දිගටම වයිබ්‍රේට් වෙන්න පටන් ගත්තා. ජැකට්කාරයා පුදුම වෙලා මගේ දිහා බලනවා මම දැක්කා. පුළුවන් තරම් සන්සුන් වෙන්න ඕනා බව දැනුණම වයිබ්‍රේට් වෙන එක නතර වුණා. මට දැන් පුදුමෙනුත් පුදුමයි. මට හිතලා වැඩ කරන්න පුළුවන්. ඒත් දැන් මට මේවා බෙදාගන්න කෙනෙක් නෑනෙ. මට ඇවකාඩෝ මතක් වෙලා හීල්ලුණා. අනේ එයා වගේ ගුණ යහපත් කෙනෙක් ආයෙ මේ සසරෙදිවත් මට හම්බ වෙයිද? මට කලන්තෙ දාපු අතරේ එයාට මොනවා වෙන්න ඇතිද?
පැය ගාණක් ගිහින් සිහිය ලැබෙනකොට ආයෙත් අමොර් ඇවිල්ලා වික්‍රම් එක්ක. මිස්ටර් මානවඩු පපුව අල්ලගෙන අමොර් දිහා බලාගෙන ඉන්නවා.
‘මානවඩු!! ඔහේ වගේ බූරු වහන්සේ කෙනෙක් තවත් නෑ. මං ඔහේට ඊයෙ සුද්ද සිංහලෙන් කිව්වා නේද පපායව රීසෙට් කරන්නෙපා කියලා. කෝ දැන් මොකද කරලා තියෙන්නෙ? ෆෝන් එක රීසෙට් කරලා නේද මිනිහෝ මේ තියෙන්නෙ?’
‘කෑවා. කෑවා. තමුසේ මගේ ජීවිතේම කෑවා.’
එහෙම කියන ගමන් අමොර් ෆෝන් කඩේ වීදුරු පෙට්ටිවල හිටපු ෆෝන් එළියට ඇදලා සීසීකඩ වීසි කරන්න පටන් ගත්තා. සමහර වීදුරු පෙට්‍ටි එළියටත් වීසි කළා. අන්තිමට මානවඩුගෙ ෆෝන් එකත් එළියට වීසි කළා. මානවඩුට යකා ආවේස වුණේ එතකොටයි.
‘මේහ්…නෝනා!! ඕවට එන්නෙපා හරිද? නෝනගේ නැටුම් මම දන්නෑ කියලද හිතන්නේ? ෆෝන් එක රීසෙට් කළා තමයි. හැබැයි මම බැකප් එකක් ගහ ගත්තා. නෝනා මෙතන වැඩිය නටන්න ආවොත් ඔක්කොම එළියට දානවා. හරිද? එනවා මෙතන මාව මට්ටු කරන්න!! යකෝ මේක හරි කෙළියක්නේ. නෝනට වංචා කළේ අර උස, කෙට්ටු, සුදු මිනිහනේ. නෝනා ගිහින් ඒ මිනිහගෙන් පළිගන්න. ඒ මිනිහගේ නාටකත් ඔක්කොම මගේ ළඟ තියෙනවා. මට ඔය කාගෙ-කාගෙත් දත-කට පූට්ටු කරවන්න පුළුවන්.’
අමොර්ගෙ කට වැහුණේ හාස්කමක් සිද්ධ වුණා වගෙයි. වික්‍රම් පුදුමය හඟවන මූණෙන් අමොර් දිහාත් රතු ජැකට්කාරයා දිහාත් බලන්න ගත්තා. ඊට පස්සෙ එක පාරටම අමොර් අඬන්න පටන් ගත්තා. අර සුකුමාල, සුදු මූණ මැලවුණා. රතු ජැකට්කාරයගෙ හිත උණුවෙන පාටක් නෑ. හයිනාවෙක් වගේ බයානක විදිහට එයා අමොර්ගෙ මූණට එබිලා බලන් හිටියා. වික්‍රම් මේ වෙලාවෙ අමොර්ව සනසන්න ඕනා වුණත් එයා එහෙම කළේ නෑ. කිසි කතාවක් නැතිව අමොර්ව පුටුවෙන් නැගිටලා, තමන්ගෙ ඇගට වත්තම් කරගෙන එළියට අරන් ගියා.
මම එතකොට හිටියේ අමොර්ගෙ හෑන්ඩ් බෑග් එකේ. ලිලී බී එක්ස්ටයි-මටයි දෙන්නටම ඒක ඇතුළෙ ඉන්න ඉඩ තිබ්බෙ නෑ. ඒත් අපි දෙන්නා තදබදය ඉවසගෙන ඔහේ උන්නා. මම හිටියේ බී එක්ස්ව කිටි-කිටියෙ තුරුලු කරන්. බී එක්ස්ගෙත් අකමැත්තක් තිබ්බෙ නෑ. එයත් මට තුරුලු වුණා. මගේ හිත ඇතුළේ හිම වැටෙන්න වගේ සීතලයි.
‘ඒක් ත ලඩ්කා ඒක් ති ලඩ්කී දීවානී
ආවෝ සුනාවෝ ප්යාර් කි ඒක් කහානී’
මද සීතලේ අපි තුරුලු වෙලා හිටියේ. බී එක්ස් එයාගෙ ළඟ තියෙන සිංදුවක් මට දුන්නා. එයාගෙ පොඩි කාලෙ පින්තූරෙකුත් මට දුන්නා. මාව රීසෙට් කරලා නිසා බී එක්ස් එක්ක කිසි දෙයක් බෙදාගන්න විදිහක් තිබ්බෙ නෑ. මම ඒ ගැන දුක් වෙනකොටම ලොකු අයිස් කැටයක් ඇවිල්ලා හෑන්ඩ් බෑග් එකේ වැදුණා.
‘වික්‍රම්, මේ අහන්න. ඔයාටත් මාව විස්වාස නැතිනම් ඔයත් යන්න. මේක දැන් හතර බීරි කතාවක් වෙලා. ෆෝන් කඩේ මිනිහත් එනවා මට පාඩම් උගන්නන්න. ඌ දන්නෑ මගේ හැටි. මේ දැක්කද?’
අමොර් එයාගෙ කලිසම් සාක්කුවෙන් රතු ජැකට්කාරයාගෙ ෆෝන් එක අරන් පෙන්නුවා. වික්‍රම් පුදුම වුණාද, බය වුණාද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒත් වික්‍රම් ඊට පස්සෙ අමොර්ට ළං වුණා. ඉණ වටේ අත දාගත්තා.
‘මට ඔයාව විස්වාසයි ඩාලිං. මුළු ලෝකෙම විරුද්ධ වුණත් ඔයාට මම ඉන්නවා.’
අනේ අම්මපා මේ මිනිහාගේ කතා. ඊට එහා අමොර්ගෙ වැඩ. එක අතකින් ඇවකාඩෝ කියන දේවල් ඇත්ත. මනුස්සයෝ කියන්නෙ කිසි විස්වාසයක් තියන්න බැරි ජාතියක්. අපි මැෂින් වුණාට අපිට ආත්ම ගරුත්වයක් තියෙනවා. මෙහෙම බොරු, වංචා කර, කර ජීවත් වෙනවට වඩා හොඳයි මැරෙන්න කලින්ම ස්ව කැමැත්තෙන් අබලි නගරෙට යන එක.
‘වික්‍රම්…..ඩාලිං….මට ඔයාගෙ ෆෝන් එක පොඩ්ඩක් දෙනවද? මේ පපායව රීසෙට් කරලා මට කිසි වැඩක් කරගන්න විදිහක් නෑනෙ.’
වික්‍රම් දෙපාරක් නොහිතා අමොර්ගෙ අතට එයාගෙ ෆෝන් එක දුන්නා.
‘මට ඊමේල් එකක් යවන්න ඕනා වික්‍රම්’
‘බීට් මේල් එකෙන් යවන්න එහෙනම්’
අමොර් විදුලි වේගෙන් වික්‍රම්ගෙ බීට් මේල් එකට ලොග් වුණා. ‘ටිකි ටිකි’ ගාමින් ලියුමක් ටයිප් කරන්න පටන් ගත්තා. අමොර්ගෙ ඇගිලි පුදුම වේගෙන් වැඩ කරන්නෙ.
‘හරි’
අමොර් සෙන්ඩ් බොත්තම එබුවා.
මම හිතන්නෙ දෙවැනි ඉලෙක්ට්‍රික් යුද්ධය පටන් ගත්තා.

 

කාංචනා අමිලානි
@moogater
පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ඉලෙක්ට්‍රික් 16 | ෆෝන් කඩේ පපායා"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com