ඉලෙක්ට්‍රික් 18 | මකර කටේ වට මේස සාකච්ඡා

93fc047bb76d66c8dc8e94f907fdf9a8
ඉබන් මාව ගෙදර අරගෙන ඒවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒත් එයාගෙ හදවතේ මං වෙනුවෙන් තෙතමනයක් තියෙනවයි කියලා මට දැනුණා. ගෙදර ආවට පස්සේ දැනුණේ හරි නැවුම් ගතියක්. ෆෝල්ඩර් ගාණක පිරිලා ඉතිරිලා තිබ්බ පින්තූර, වීඩියෝ නැතිව ලොකු බරක් හිතින් නිදහස් වුණා වගෙයි. කොටින්ම කියනවා නම් මම අලුතින් ඉපදිලා වගෙයි මට දැනුණේ.
ඒත් ෆෝන් එක රීසෙට් කළා කියලා ජීවිතේ අලුතින් පටන් ගන්න අමාරුයි කියලා මට තේරුණේ අමොර්ගෙන් ඉබන්ට මේල් එකක් ආවමයි. ඒකත් වික්‍රම්ගෙ ඊමේල් එඩ්‍රස් එකෙන්. ගැහෙන පපුවෙන් මං ඒක කියවන්න ගත්තා.
එතකොටම ඉබන් ආවා සිංදුවක් කියාගෙන.
‘එදා ඔන්චිල්ලේ නැඟී
ඉහළ යන විට පැදි පැදී
ගහේ බැදි රැහැනක් ලිහී
යයිද සැකයෙන් ගැහි හැහී’
ඉබන්ගෙ සිංදුව නැවතුණා මේල් එක කියවන්න පටන් ගත්තම.
‘බැල්ලී… එහෙනම් බලාගමු’
කියලා ඉබන් නාන කාමරේට රිංගුවා. එතකොට කවුද බැල්ලී? මම ඇවකාඩෝ 0.2. ඒක කිව්වෙ මට වෙන්න බෑ. අතීරණාත්මකව වයිබ්‍රේට් වෙද්දි වික්‍රම්ගෙන් තව මේල් එකක් ආවා.
‘මේ මොන මඟුලක්ද?’
මම නිවිසැනසිල්ලේ ඒකත් කියවන්න ගත්තා. ඒ පාර වික්‍රම්ගෙ පාපොච්ඡාරණයක්. මුන් ඔක්කොම එකයි. ඔක්කොම අමොර්ට බයයි. ඉබන් බාගෙට නාගෙන වගේ හදිස්සියෙන් කාමරේට ආවා. වික්‍රම්ගෙ මේල් එක කියෙව්වා. හීන් හිනාවක් ගියා. මාව පැත්තකින් තියලා ඇවකාඩෝ 0.3 වික්‍රම්ට කෝල් එකක් ගත්තා.
‘මචං, මම ඉබන්. උඹේ මේල් එක මේ දැන් කියෙව්වේ. උඹ කොහෙද ඉන්නේ. මේ දැන් මම එන්නද?’
එහා පැත්තෙන් කිව්වෙ මොනවද කියලා දැනගන්න තිබ්බෙ එකම ක්‍රමයයි. මම 0.3 ට ඇහැක් ගහලා එයාගෙ අවධානය මගේ පැත්තට හරව ගත්තා.
‘මේහ්….ස්..ස්..0.3…..ඔයාට මාව ඇහෙනවද? මොනවද වික්‍රම් කිව්වේ?’
0.3 ගස්සලා අහක බලා ගත්තා. මට මගේ ඇස් විස්වාස කරන්නත් බැරි වුණා.
‘හනේ අම්මපා මැස්සෙක් ගිය උඩ’
ඉබන් ආයෙත් මාව අතට ගත්තා. ටික්…ටික්..ගාලා නොම්මර ටිකක් ඔබල ජෝන් ස්නෝ කියලා කෙනෙක්ට කෝල් එකක් ගත්තා. හහ්….යකාගෙ නම්!! ජෝන් ස්නෝ!! මුං ඔක්කොටම එසේ-මෙසේ පිස්සුවක් නෙවෙයි තියෙන්නේ.
‘කොල්ලො, ඉක්මනට වරෙං අපේ පුරුදු තැනට. ඔව්!! ඔව්!! වැඩේ ගැස්සෙන්න කලින් වරෙං. හා…ඔව්. ඔව්. එක්ස්ටර්නල් හාඩ් එකත් අරං වරෙං. මම වික්‍රම්ව දැන් හම්බ වෙනවා. ඌවත් කොහොම හරි එක්කගෙම එන්නම්. බය වෙන්නෙපා බං. මුකුත් වෙන්නෑ. උඹට මාව විස්වාස නැද්ද? අපි ඕවද බං කරලා තියෙන්නේ? මේවා මේ නිකං පොඩි වැඩනේ.
හරි. හරි. තිබ්බා’
ඉබන් මාවයි, 0.3 අත් දෙකට අරගෙන කලිසම් සාක්කු දෙකට දා ගත්තා. මම 0.3 දිහා බලන්නවත් ගියේ නෑ. උද්දච්ච ඌරා. ඉබන් ඌව දිව්‍යලෝකෙ අරන් යයි කියලා වෙන්න ඇති හිතන් ඉන්නේ.
ඉබන් මෝටර් සයිකලෙන් ගමන් යන එක තරම් එපා කරපු දෙයක් තවත් නැහැ. කලිසම් සාක්කුවේ හිර වෙලා, එහෙට මෙහෙට තෙරපෙන එක පුදුම වධයක්. ඒ මදිවට දාඩියෙන් මාව පෙගෙනවා. මීට වඩා අපි ගැන හිතන්න ඕනා කියලා මිනිස්සුන්ට හිතෙන්නෙ නැද්ද මන්දා. කොහොමත් ඉබන් වෙනුවෙන් අනවශ්‍ය කැපකිරීම් නොකරන්න මම තීරණය කරගෙන ඉවරයි. මගේ බුද්ධිය මෙහෙයවලා මගේ ජීවිතය පහසු කරගන්නවා මිසක් මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න හිතපු කාලෙ ඉවරයි.
ඉබන් බයිසිකලෙන් වෙට්ටු දදා පාරෙ යන අතරේ කෝල් එනවා දිගට හරහර. අනේ අම්මපා මේ මිනිස්සුන්ට පිළිවෙලකට පාරෙ යන්න බැරි හැටි. පුදුම හදිස්සියක්නෙ හැම එකාටම තියෙන්නේ. සාක්කුවෙන් ඔළුව එළියට දාලා එකෙක්, දෙන්නෙකුට බනින්න හිතුණත් ඒකෙ කිසි පලප්‍රයෝජනයක් නෑ කියලා මට තේරුණා. මම කියන ඒවා කාටවත් තේරෙන්නෙ නෑනෙ.
ලොකු මකරෙක් වහලෙ ගහලා ඉන්න තැනක ඉබන් මෝටර් බයිසිකලය නැවැත්තුවා. හෙල්මට් එක ගලවලා බයිසිකලේම එල්ලලා කොණ්ඩෙ අතින් හදමින් එයා රෙස්ටුරන්ට් එක ඇතුළට ගියා. ඒ පාර මාව සාක්කුවෙන් එළියට අරන් ආයෙ කෝල් එකක් ගත්තා.
‘මචාං… වික්‍රම්. රෙස්ටුරන්ට් එකටම වරෙං. මම ඔහේට එන්න ගියොත් තව පරක්කු වෙනවා.’
ඊළඟට ජෝන් ස්නෝට තව කෝල් එකක් ගත්තා.
‘මචං, මං ආවා’
මකර රෙස්ටුරන්ට් එකේ ඇතුළ කොළ පාටයි. මට නිකං වමනෙට වගේ ආවා ඒ කොළ පාට දැක්කම. ඒ මදිවට පාට, පාට බල්බ් වැල් පත්තු කරලා තැනින් තැන.
ඒක වට මේස සාකච්ඡාවක්. ඉබන් පුටුවක් අනිත් පැත්ත හරවලා අරන් වාඩි වුණා. හරියට නිකං චණ්ඩියෙක් වගේ. මාවයි, 0.3 මේසෙ උඩින් තිබ්බා. මේසෙ උඩ තව අය ගොඩක් උඩුබැල්ලෙන් නිදාගෙන උන්නා. ලිලී එක්ස්, මැන්ගෝ සික්ස් ප්ලස්, මෙරූන් මයිනස්, එක්ස්එක්ස් 6, මාමලේඩ් 144 වගේම ඇවකාඩෝ 0.5 ත් එතන හිටියා. කවුරුත් තම, තමන්ගෙ තිර නිවාගෙන නිදි වාගෙයි උන්නේ. මේ ගිනිකෙළි අස්සේ මුන්ට නිදාගෙන ඉන්නත් පුළුවන්නෙ හැබෑට.
‘මචං, දැන් වැඩේ සීරියස්. අපි හිතන තරම් ගෑනි මෝඩ නැහැ. හැම එකාගෙම ෆෝන්වල බැකප් ඒකි ළඟ තියෙනවා. උඹලා දැක්කනෙ ගෲප් එකට මම ෂෙයාර් කරපු ස්ක්‍රීන් ෂොට් එක?’
වට මේස සාකච්ඡාවෙ හිටිය හතර දෙනාම ඔළුව වැනුවා. මුලින්ම මිකී කතා කරන්න ගත්තා.
‘ඉබන්, උඹ දන්නවනෙ මගේ සිද්දිය. මම අමොර් එක්ක යාළු වෙලා හිටියෙ මාසයයිනෙ. මගේ ළඟ තියෙන්නෙ ෆොටෝ විතරයි.’
ඊළඟට කතා කළේ මෞර්යසිංහ. එයා නිකං සාන්තුවරයෙක් වගෙයි. කොණ්ඩෙ හිටන් බූ ගාලා.
‘හරි. මගේ ළඟ වීඩියෝ තියෙනවා. දැන් මොකක්ද උඹට කරන්න ඕනා?’
අනිත් දෙන්නා කතා කළේම නෑ. ඔළු වන, වන, සිගරට් බිබී උන්නා විතරයි. ඒ අතරේ වික්‍රම් දුවගෙන ආවා සර්කස් එකකින් පැන්න සිංහයෙක් වගේ.
‘සොරි මචං, මට පොඩ්ඩක් පරක්කු වුණා.’
ඉබන් වික්‍රම්ගෙ අත අල්ලලා හොලවලා අනිත් අයවත් අඳුන්නලා දුන්නා. මෞර්යසිංහ හායි කිව්වා. මිකී හිනා වුණා. ඩෙරික් ඔළුව වැනුවා. ටරික් මේසෙ උඩින් දුන්නක් වගේ ඇදිලා වික්‍රම්ට අතට අත දුන්නා.
ඉබන්, වික්‍රම්ට මෙතෙක් කතාව පැහැදිලි කරන්න වුණා. ඒ අතරේ සීතල බියර් බෝතල්, ජින් සහ ටොනික් වගේම රන්වන් පාටින් දිලිසෙන කජු පීරිසියක් මේසෙ උඩට ආවා. ඒත් එක්කම තවත් අවුළුපත් කීපයක්ම මේසෙ උඩ තැන්පත් වුණා.
ටරික් කජු අහුරක් අරගෙන කටේ දාගෙන හපන්න වුණා. ඩෙරික් රවාගත්ත ගමන් ටරික් දිහා බලාගෙන බියර් වීදුරුවක් පුරවා ගත්තා.
‘මොකෝ උඹ රවන්නෙ? කරලා තියෙන හරිය මදිද? දැන් අපි එපැයි උඹලගෙ පව් හෝදන්න.’
ඩෙරික් යමක් කියන්න කට අරිනකොටම ඉබන් මැද්දට පැන්නා.
‘මචං, අපි ඔක්කොම එකතු වෙලා අරකිට වැඩක් දෙන්න ඕනා. ඒකි අපිව බ්ලැක්මේල් කරන්න කලින් අපි ඒකිව බ්ලැක්මේල් කරන්න ඕනා. වික්‍රම්, මොකද මචං කියන්නෙ?’
වික්‍රම් ‘ඔව්. ඔව්’ කිව්වා මිසක් කරන දෙයක් කියන්න තරම් නිර්භීත වුණේ නෑ. ඉබන් ආයෙත් කතාව පටන් ගත්තා.
‘මේකයි ප්ලෑන් එක. මෞර්යසිංහ කැමතිනේ වීඩියෝ එකක් දෙන්න. අපි ඒක ලීක් කරමු. මම දන්නවා අප්ලෝඩ් කරන්න ඕන සයිට් එක. ඒත් උඹලා ඔක්කොම මට උදව් කරන්න ඕනා. ඒ වගේම කෙළ බිංදුවක් බිම හෙළන්න බෑ මේ ගැන. තේරුණාද? උඹලා දන්නවනෙ අමොර්ගෙ තරම. ආයෙ විසුමක් වෙන්නෑ. හරිද?’
වික්‍රම් මූණෙ දාඩිය පිහදමින් බියර් වීදුරුවක් වක් කර ගත්තා. ඒ අතරේ මෞර්යසිංහ ගෙ වීඩියෝ එක කොපි කරගන්න එක්ස්ටර්නල් හාඩ් එක ගේනවා කිව්ව ජෝන් ස්නෝව හොයන්න ආයෙමත් කෝල් කීපයක් ගත්තා.
‘කෝ ස්නෝ? එක්ස්ටර්නල් හාඩ් එකත් අරන් එන්නම් කිව්වනේ?’
‘දන්නෑ බං. මඟ කිව්වා මම කතා කළාමත්.’
ඉබන් නොසන්සුන් වෙලා එහේ-මෙහේ ඇවිදින්න ගත්තා. ඒ පාර ස්නෝ ගෙ ෆෝන් එක ඕෆ් කරලා.
‘එහෙනම් උඹ මගේ ෆෝන් එක අරන් පලයං.’
මෞර්යසිංහ කිසි ගාණක් නැතිව එයාගෙ මාමලේඩ් 144 ඉබන්ගෙ අතට දුන්නා.
‘හා. හෙට රෑට අප්ලෝඩ් කරමු. උඹේ මූණත් පොඩ්ඩක් බ්ලර් කරන්නත් ඕනනෙ.’
ඉබන් මාවයි, 0.3 සාක්කු දෙකට දා ගත්තා. ඊට පස්සේ මාමලේඩ් 144 ත් අරන් මම හිටපු සාක්කුවටම දැම්මා.
‘එකෙක්ට හුස්මක් කටක් ගන්න බැරි සාක්කුවෙ දෙන්නෙක් දාන්නෙ, ඔහෙට පිස්සුද හැබෑට?’
මාමලේඩ් 144 මට සොරි කිව්වා. මගේ කේන්තිය නිවුණා.
‘ඔයාට නෙවෙයි මාමලේඩ් මම බැන්නේ’
‘මම දන්නවා’
ඒ යකත් හරි මනමාලයෙක් පාටයි. මම තනියෙම හිතුවා. ඉබන් ගෙදර යන අතරතුර ඊමේල්, මැසේජ්, ටෙක්ස්ට් රාශියක් ආවා. මේ තදබද වෙලා ඉන්න අස්සෙ ඒවා බලන්න මට නිස්කාන්සුවක් තිබ්බෙ නෑ. මං ඔහේ තිරය නිවාගෙන උන්නා. පුරුදු විදිහට ඉබන් ගෙදර ගිය ඇසිල්ලෙන් ඇඳන් හිටපු ඇඳුම් එක එක ගලවමින් තැන් තැන්වලට වීසි කරන්න පටන් ගත්තා. ඒත් ඒ වෙනකොට ෆෝන් තුනම ඇද උඩින් තැන්පත් කරලා තිබ්බේ. මම නිකමට වගේ මැසේජ් කීපයක් බැලුවා. ඉබන්ගෙ යාළුවො හැමෝම වගේ එකම ලින්ක් එකක් එවලා තිබ්බා. නිකමට වගේ මම ලින්ක් එක ක්ලික් කළා.
ඊයා අනේ!! ඒකෙ තිබ්බ දේවල්. අනික වික්‍රම්. ඊළඟට අමොර්. මට කලන්තෙට වගේ ආවා. මට මතක මාමලේඩ් 144 මාව අල්ල ගන්නවා විතරයි.

 

කාංචනා අමිලානි
@moogater
පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ඉලෙක්ට්‍රික් 18 | මකර කටේ වට මේස සාකච්ඡා"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com