ඉලෙක්ට්‍රික් 21 | සීබීගේ කතා වස්තුව

041603c3a63f08b736678218aea93945
‘මචං දැන් අපි මොකද කරන්නෙ? බොසා දැන ගනීවිද අරක ලීක් කළේ අපි කියලා.’
මූණ පුරා රැවුල වවාගත්ත හීන්දෑරියෙක් එහා පැත්තෙ කියුබිකල් එකට එබිලා මංජිත්ගෙන් ඇහුවා. මංජිත් ඔළුව උස්සලා බලලා සීබී ට රැව්වා. හීන්දෑරි සීබී හොර බළලෙක් වගේ තමන්ගෙ පුටුවෙ වාඩි වුණා. පැන්සලක් හපමින් ටික වෙලාවක් ඉදලා ආයෙත් මන්ජිත්ගෙ කියුබිකල් එකට එබුණා.
‘මන්ජිත් කියපංකො මොනව හරි’
මන්ජිත් ආයෙත් පාරක් රවලා සීබී දිහා බැලුවා.
‘මම උඹලට කිව්වනෙ ඔය වැඩේ කරන්නෙපා කියලා. දැන් බොරුවට මගෙන් උපදෙස් අහන්නෙපා. උඹත් එක්ක ඔය වැඩේ කරපු අනිත් කබරයො ටිකගෙන් අහපං දැන් මොකද කරන්නෙ කියලා’
සීබී පසුබෑවා. ආයෙත් තමන්ගෙ සීට් එකේ ඇලවුණා. ඊට පස්සෙ වොෂ් රූම් යනවා කියලා ලිලී බී එක්ස් ෆෝන් එකක් ඔබ, ඔබ දොරෙන් එළියට ගියා.
මන්ජිත් ඔළුව උස්සලා බලලා දත්මිටි කෑවා.
වොෂ් රූම් එකේ දොර ළඟ සීබීට කලින් මහේෂ්, මැකී සහ උනම්බු හිටගෙන උන්නා.
‘දැන් මොකෝ බං කරන්නෙ. අප්ලෝඩ් කරපු අයි.පී එඩ්‍රස් එක ට්‍රේස් කරයිද? අපි වීඩියෝ එක මකලා දාන්න කියලා මේල් එකක් යවමුද?’
‘පිස්සුද බං, ආයෙ අපිව අහු වෙනවනේ එතකොට. අපිට කලින් අර කෙල්ලගෙ කවුරු හරි කියාවි වීඩියෝ එක අයින් කරන්න කියලා. එතකන් ඉවසන් ඉමු.’
‘මචං, අර තව එකෙක් හොස්පිට්ල් එකේ නේද? වික්‍රම් බොස් උගේ කකුලට වෙඩි තියලනේ. අන්න දැන් ඒක ගොසිප් සයිට්වලත් තියෙනවා.’
‘පිස්සුනේ බං අපේ බොස්ට. කොහේවත් නැති මිනිහෙක්ට ඔහොම වෙඩි තියනවද?’
‘අනේ මේහ්!! බොසා දැනගත්තොත් අපියි වීඩියෝ එක අප්ලෝඩ් කළේ කියලා වෙඩිත් තියලා, පොරවකිනුත් බෙල්ලට දේවි. අරහෙ මන්ජිත් දත්මිටි කනවා. මට දැන් ඌවත් විස්වාස නෑ. පොලිසියෙන් උගෙන් ඇහුවොත් දෙකක් ගහන්න කලින්ම අපිව පාවලා දේවි’
‘ඉතිං දැන් වෙන කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැද්ද බං?’
ඒ පාර සීබී අඬන්න වගෙයි.
‘මේක මමයි අප්ලෝඩ් කළේ කියලා බොස් දැනගත්තොත් රස්සාවත් ඉවරයි, මගේ ජීවිතෙත් ඉවරයි. ඕකා මාව මරයි බං’
‘අඬන්නෙපා සීබී. පිරිමියෙක් වගේ ප්‍රශ්නෙට මුහුණ දීපංකො. උඹ කොහොමද වීඩියෝ එක බොසාගෙ ලිලී ඩ්‍රයිව් එකෙන් සේව් කරගන්නකොට දුන්න තවුසන් ටෝක්ස්? කෝ දැන් ඒවා. ‘අපි යක්කු බොලව්’ කියලා නේද එවෙලෙ ගෝරිල්ලෙක් වගේ පපුවට ගහගෙන කිව්වේ?’
සීබී ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් වගේ යටි ඇහෙන් උනම්බු දිහා බැලුවා. ඊට පස්සෙ පිළිසරණක් බලාපොරොත්තුවෙන් මහේෂ් දිහාත් බැලුවා. අන්තිමට කතා කරන්න පටන් ගත්තේ මැකී.
‘දැන් ඌටම බැනලා වැඩක් නෑනෙ මචං. අපිත් කිව්වනේ ඕක අප්ලෝඩ් කරලා දාමුයි කියලා. බොසාගෙන් පළිගන්නනේ ඕක කළේ. අපි ඔක්කොම ඒ වෙලාවෙ ඒකට එකඟ වුණානෙ’
සීබීගෙ කටට පණ ආවෙ ආලෝකයේ වේගයෙන්.
‘අපි යමු අර වෙඩි කාපු එකා බලන්න’
‘පිස්සුද සීබී? ඌව අපි දන්නවායැ බලන්න යන්න. අපි යමු වික්‍රම් සර්ව බලන්න. ඊට පස්සෙ එන විදිහක් බලමු.’
‘යමු. යමු. දැන් මෙතන තුරුළු වෙලා ඉදලා තව කතාවක් හැදෙයි.’
ඒක කිව්ව විතරයි හතර දෙනාම තමන්ගෙ කියුබිකල්වලට දිව්වා. ඒත් කොයිවෙලේ පොලීසියෙන් ඇවිත් එක, එක්කෙනාව කුදලගෙන යයිද කියලා බයෙන් උන්නේ. සීබී ට කෙළ ගිලෙන්නෙත් නැති තරම්. මන්ජිත් ඔළුව නවාගෙන වැඩ.
‘අනේ මුගෙන් මොකුත් අහලා වැඩක් නෑ. ගොට්ටා. පුළුවන් නම් පොලිසියටම ගිහින් කියලා ඒවි සීබී තමයි ඕක කළේ කියලා.’
— — — — — — — — — — — — — — — — —
‘ඔව් මැඩම්. මන්ජිත් කියලා කෙනෙක් කතා කරන්නෙ. කම්පැනි ලෝයර් දැන් ඒවි මැඩම්.
සීබී ගෙ කන ඉලාස්ටික් වුණේ ඒ වෙලාවේ.
මූ ගොට්ටා තමයි. වික්‍රම් සර්ට මුට්ටිය අල්ලගෙන ඉන්නේ. නැත්නම් මන්ජිත් කියපු ගමන් සර්ගෙ වයිෆ් අඳුනාවිද?
සීබී තනියෙම හිතුවා.
‘ඔව් මැඩම්. වික්‍රම් සර් එදා ඔෆිස් ආවා. හදිසියේ තමයි ඔෆිස් එකෙන් එළියට ගියේ.
නෑ මැඩම්, අපි කවුරුත් දන්නෑ මොකද වුණේ කියලා. මොනව හරි දැනගත්තොත් අනිවාර්‍යෙන්ම මම කියන්නම්. හා, ඉන්න මම ලියාගන්නම්.’
හරි; ඒ පාර මැඩම් මේ යකාට නොම්මරෙත් දෙනවා. මූ අපිව පාවලා දෙනවා ෂුවර්. කේලමා.
සීබී ගේ හිතට පොඩි බයක් ඇතුළු වුණා. ‘අබ කාපු මිනිහගෙ නහය දනවා’ කියන්නෙ නිකං නෙවෙයිනෙ.
ටික වෙලාවකින් සීබීට අයි.ටී සෙක්ෂන් එකෙන් කෝල් එකක් ආවා.
‘මිස්ටර් චමත් බණ්ඩාර, පොඩ්ඩක් අයි.ටී සෙක්ෂන් එකට එන්න පුළුවන්ද? නෑ. නෑ. ප්‍රශ්නයක්ම නෙවෙයි.’
සීබීගේ නළලෙ දාඩිය බිංදු දෙකක් මතු වුණා. ඒත් පිරිමියෙක් වගේ ප්‍රශ්නෙට මූණ දෙන්න කියලා උනම්බු කියපු එක මතක් කර ගත්තා.
‘මිස්ටර් චමත්, ඔයාගෙ මැෂින් එකෙන් අප්ලෝඩ් කරපු වීඩියෝ එකක් ගැන කම්ප්ලේන් එකක් ආවා. අපි ඒක චෙක් කළා. ඒ වෙලාවෙ ඔයා තමයි ලොග් වෙලා ඉදලා තියෙන්නේ. ඔයාගෙ බීට් මේල් එකෙන් පණිවිඩයක් එක්ක මේක අප්ලෝඩ් වෙලා තියෙන්නේ’
‘නෑ. නෑ. මම ඔය කියන වෙලේ සීට් එකේ හිටියේ නෑනෙ’
‘මිස්ටර් චමත් අපි ඔයාට තාම ලොග් වෙච්ච වෙලාව කිව්වෙ නෑනෙ. කරුණාකරලා බෝර්ඩ් රූම් එකට යන්න. ඒකෙ ඉන්න පොලිසියේ මහත්තයට කට උත්තරයක් දෙන්න. මේ ගැන කම්පැනි ඩිරෙක්ටර් අපිට උපදෙස් දුන්නා. මේක මම ඔයාට කියන එක හොඳයි කියලා කියපු නිසයි ආයතනයෙ ඇතුළේ ප්‍රශ්න මතු නොකර මේ විදිහට බේරන්න උත්සාහ කළේ’
තප්පරේට වචන සීයක් කියන සීබීගෙ කටට ඉබ්බා වැටුණා වගෙයි. කතාවක් නැතුව සීබී බෝර්ඩ් රූම් එක පැත්තට ගියා. ඊට පස්සේ එක පාරටම ස්ටෝර් රූම් එක පැත්තෙන් පහළට බහින පඩිපෙළ දිගේ දුවන්න ගත්තා. සීබී පඩිපෙළේ දිව්වෙ කඩුලු පැන දුවන එක ජීවිත කාලෙම කළා වගේ ආත්ම විස්වාසයකින්.
සීබීට තමන්ගෙ මෝටර් සයිකලයත් අමතක වුණා. පාරෙ ගිය ටුක්ටුක් එකකට අත දාලා හති හලන්න වුණා.
‘කොහෙටද මහත්තයා යන්නෙ?’
‘යං ඕයි යං. ඔහොම ඉස්සරහට යං. කොහේ හරි යං.’
ටුක්ටුක් එක එළවපු මනුස්සයා පුදුමය උපදවන බැල්මකින් එක පාරක් සීබී දිහා බලලා ‘නීඩ් ෆෝ ස්පීඩ්’ ගේම් එකේ වගේ වේදනාකාරී වේගයකින් ටුක්ටුක් එක එළෙව්වා. සීබී ෆෝන් එක ඕෆ් කරලා බැටරියත් ගැලෙව්වා. ඊට පස්සේ හිතන්න පටන් ගත්තා.
දැන් මොකද කරන්නේ? ලෝයර් කෙනෙක් හම්බ වෙනවද? තනියෙම පොලිසියට ගිහින් සාක්කි දෙනවද? බෝට්ටුවෙන් ඉතාලි යනවද? වික්‍රම් සර්ගෙ කකුල් දෙක අල්ලලා වැඳලා හරි සමාව ඉල්ලනවද? ඔත්තුව දුන්නු බලු මන්ජිතයගෙ බොටුව කඩලා ලේ බොනවද?
කිසි දෙයක් හරියට තීරණය කරගන්න බැරිව සීබී දණහිසේ ඔළුව ගහගත්තා.
‘මොකෝ මහත්තයා අසනීපයක්ද? කවුරු හරි පස්සෙන් එලවනවද?’
‘නෑ ඕයි නෑ. පුළුවන් තරම් හයියෙන් යනවා. මම නවත්තන්න කියනකන් යනවා.’
ටුක්ටුක් ඩ්‍රයිවර් ආයෙත් පුදුමය හඟවන බැල්මකින් වාහනය එළවන්න ගත්තා.
මේ යකාට පිස්සුද මන්දා.
ඕන එකක් වෙච්චාවෙ, මම යනවා වික්‍රම් සර්ව බලන්න. ගිහින් සමාව ඉල්ලනවා.
සීබී මහ දරුණු තීරණයකට ආවා.
‘අන්කල්, අපි ගල්කිස්සෙ පොලිසියට යං.’
ටුක්ටුක් ඩ්‍රයිවර් ආයෙමත් පුදුමයෙන් සීබී දිහා බලලා ඔළුව වැනුවා.
‘ෂෝර්ට් කට් එකක් තියෙනවා. අපි එතනින් යං.’
විනාඩි කීපෙකින් සීබී පොලිසිය ඉස්සරහට ගෙනාපු ‘නීඩ් ෆො ස්පීඩ්’ ඩ්‍රයිවර් සීබීට මීටරේ පෙන්නුවා. සීබී දාහෙ කොළයක් දීලා සිහි විකල්ලෙන් වගේ පොලිසියට දුවන්න වුණා.
විමසීම් කවුන්ටරේට ගිය සීබී කිව්වේ මිස්ටර් වික්‍රමසිංහව මුණ ගැහෙන්න ඔෆිස් එකෙන් එයාව එව්වා කියලා. අයි. පී මදනායක සැක බැල්මකින් විමසීම් කවුන්ටරේ හිටිය සීබී දිහා බලාගෙන උන්නා.
‘එයාව බලන්න දෙන්න බෑ. මිස්ටර්ට මොනවද එයත් එක්ක කතා කරන්න තියෙන්නෙ?’
‘ඔෆිස් එකේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ගැන බොස්ගෙන් උපදෙස් ගන්න ඕනා. ඒක ටිකක් හදිස්සියි. මේ තියෙන්නෙ මගෙ ඔෆිස් අයි.ඩී එක’
අයි.පී මදනායක සැකෙන් වුණත් සීබීට විනාඩි පහක් වික්‍රම් එක්ක කතා කරන්න ඉඩ දෙන්න එකඟ වුණා.
වික්‍රම් පොලිස් කූඩුවෙ ඉන්න විදිහ දැක්කම සීබීට මහා බයක් ඇති වුණා.
‘සර්!! මම චමත්. අනේ මට සමාවෙන්න බුදු සර්!! මම තමයි වීඩියෝ එක අප්ලෝඩ් කළේ. අනේ මට කරදරයක් කරන්න එපා වික්‍රම් සර්.’
සීබී කුලියට අඬන මීගමුවේ ගෑනු කෙනෙක් වගෙයි ඒ වෙලාවෙ හැසිරුණේ. වික්‍රම්ගෙ ඇස්වලින් ගින්දර පිට වුණා. ඊට පස්සෙ යකඩ කූරු අස්සෙන් අත දාලා සීබීගෙ බෙල්ල මිරිකගත්තා. දඩු අඩුවකට අහු වුණා වගෙයි සීබීට දැනුණේ.
‘මං තෝව මෙතනම බාවනවා. එකෙක්ට වෙඩි තියපු මට උඹ ලොකු නෑ’
කියද්දි අයි.පී මදනායක දුවගෙන ආවා. තව කොස්තාපල්ලා දෙන්නෙක් ඇවිත් සීබීගෙ යකඩ කූරු අස්සේ හිරවෙලා තිබුණ බෙල්ල ඇදලා ගත්තා. සීබී කපා හෙළුව ගහක් වගේ බිමට වැටුණා.
‘යකෝ මේ මිනිහා මළාද?’

 

කාංචනා අමිලානි
@moogater

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ඉලෙක්ට්‍රික් 21 | සීබීගේ කතා වස්තුව"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com