ඉලෙක්ට්‍රික් 22 | ලෙසතුගේ සාපය

IMG_9348

ගෑනියෙක් ලෙසතුට කන පුපුරන්න ගහනකන්ම මම හිටියේ සිහින ලෝකෙක. ලෙසතු කරන, කියන දේවල් ඔක්කොම මම දැනගෙන හිටියා කියලා හිතුවට ලෙසතු කරපු දේවල්වලින් මම මොනවද හැබෑටම දැනගෙන ඉඳලා තියෙන්නේ? මොකුත් නෑ. මොකුත්ම නෑ.
ඒ වෙලාවෙ මම හිටියේ ලෙසතුගේ දකුණු අතේ. සුදූ ගැහුවේ ලෙසතුගෙ වම් කම්මුලට. හරියටම හෙණයක් වැදුණා වගේ ලෙසතු වටයක් කැරකැවිලා ගියා. ඒත් එක්කම මාව බිම වැ‍ටුණා. වාසනාවකට වගේ මාව වැ‍ටුණේ පාපිස්සක් උඩට. ස්නෝ පැන්න ගමන් ලෙසතුව අල්ල ගත්තා. ඉබන් බැරි මරගාතේ ඇ‍ඳෙන් බිමට පනින්න හැදුවා. ඒත් ඇඳ ළඟ පු‍ටුවෙ වාඩි වෙලා හිටපු පොලිස්කාරයා ඉබන්ගෙ උරහිසෙන් අල්ලලා ආයෙ ඇදේ හාන්සි කළා. සුදූ ආයෙ පාරක් ලෙසතුගෙ බෙල්ල මිරිකන්න ඉස්සරහට පැන්නා. ස්නෝ ලෙසතුව බෝනික්කෙක් වගේ තුරුල් කර ගත්තා. පොලිසියෙ රාළහාමිගෙ ඉවසීමේ සීමාව පැන්නෙ අන්න එතකොටයි.
'මොනවද නෝනා මේ මළ විකාර? මෙහේ එක මිනිහෙක් වෙඩි කාලා කකුල කඩන්. නෝනා ඇවිත් ගෑනු ළමයෙකුගේ කනට ගැහුවා. ඊළඟට බෙල්ලත් මිරිකන්න හදනවා. තව මහත්තයෙක් ඒ නෝනවා තුරුල් කරගෙන. මේක කෝලං මඩුවක් කරන්නද හදන්නේ? කරුණාකරලා එළියට යන්න.'
සුදූ ඒ පාර කඳුළු පෙරනවා. ලෙසතුත් ඊට නොදැවෙනි තාලෙට අඬනවා. මම තාම පාපිස්ස උඩ වැටිච්ච ගමන්. මේ මළ යක්කු එකෙකුටවත් මාව අහුලගන්න වුවමණාවක් නෑ. ඔන්න ඉතිං අපේ ජීවිතවල හැටි. 'කාරිය කෙරෙන තුරු කාගෙත් ‍රැවටිල්ල කියන්නෙ' ඕකට වෙන්න ඇති.
මම හිතන්නෙ ඒ බිම වැ‍ටුණ පාරට මගේ බැටරියත් බුරුල් වෙළාද කොහෙද. සැරින් සැරේ වයිබ්‍රේට් වෙන්නෙ මගේ හිතේ දුකට වෙන්න පුළුවන්. සමහර විට අමොර්ගෙ ෆෝන් එක කියපු කතා ඔක්කොම ඇත්ත වෙන්නත් පුළුවන්. අපි නිකන්ම නිකං මැෂින් විතරයි එයාලට. හරියට නිකං වහල්ලු වගේ කියන, කියන දේ කරන එකනෙ අපේ වැඩෙත්. ඒත් මට ඒ කිසි දෙයක් කලින් තේරුණේ නැත්තෙ මොකද? මම හිතන් හිටියේ එයා ඕවා ඔක්කොම ඉරිසියාවට කියන කතා කියලයි.
සුදූ කඳුළු වගුර, වගුර යන්න ගියේ ඒ අතරෙයි. ස්නෝගෙ තුරුලෙන් මිඳුණ ලෙසතු බෑග් එකෙන් ටිෂූ එකක් අරන් මූණ තෙතමාත්තු කර ගත්තා. වම් කම්මුල අල්ලනවත් එක්කම ගිනි ගන්නවා වගේ වේදනාවකින් එයාව ගැස්සෙනවා මම දැක්කා. ඉබන් ඇදේ විට්ටමට හාන්සි වෙලා මහා පරාජිත විදිහට බලාගෙන උන්නා. ලෙසතු අතීරණාත්මකව එහේ-මෙහේ බලලා 'කෝ මගේ ෆෝන් එක?' කියලා ස්නෝගෙන් ඇහුවා. ස්නෝ හැඩිදැඩි අතින් මාව අහුලගෙන ලෙසතුට දුන්නා.

 

'අයියෝ..... ෆෝන් එක වැඩ කරන්නෙ නැද්ද මන්දා!'
'ඉන්න බලන්න'
ස්නෝ එයාගෙ හැඩිදැඩි අතට මාව මිරිකගෙන බැටරිය ගලවලා ආයෙ හරියට තද කළා. ඊට පස්සෙ පවර් බට්න් එක ඔබාගෙන හිටියා. අන්න එතකොටයි මට යථා සිහිය ආවේ.
'අපි යමු ලෙසතු'
ස්නෝ කටහඬ හොඳටම අඩු කරලා කිව්ව විදිහ මට එච්චර ඇල්ලුවේ නෑ. ලෙසතු කිසි කතාවක් නැතිව ස්නෝගේ අතේ එල්ලිලා, ඇගට වාරු වෙලා හොස්පිට්ල් එකෙන් එළියට ආවා. ඒ අතරේ ඉබන් කෑ ගහනවත් ඇහුණා.
'ස්නෝ....මචං...යන්නෙපා...පොඩ්ඩක් ඉන්න'

 

අනේ තව මොනව පොඩ්ඩක් ඉන්නද? මෙහෙන් ලෙසතුගෙ කම්මුලේ රතු ලපයක් මතු වෙන්න පටන් අරන්. ඊළඟට කවුරු ඇවිත් බෙල්ල මිරිකයිද කියලා දන්නවද? මට කේන්තියටම තිරය දෙපාර-තුන්පාරක් පත්තු කරලා නිවන්න වුණා. අනික බිම වැටිච්ච පාරට මගේ ස්ක්‍රීන් එකත් පොඩ්ඩක් හීරිලා වගෙයි. ලෙසතු මොළේ කල්පනා කරලා ත්‍රීඩී ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහලා තියෙන බව ඇත්ත. ඒ නිසානෙ ස්ක්‍රීන් එක කුඩු නොවුණේ.
කිසි කතාවක් නැතිව ලෙසතු ස්නෝගෙ බයිසිකලේට ගොඩ වුණා. මාව හෑන්ඩ් බෑග් එකේ පතුලටම දා ගත්තා. ආයෙත් ටිකක් වෙලා කල්පනා කරමින් ඉදලා හෑන්ඩ් බෑග් එක ඇරලා මාව එළියට ගත්තා. ටික්...ටික්....ගාලා නොම්මර ටිකක් ඔබලා කෝල් එකක් ගත්තා. ස්නෝ තවම ලෙසතුගෙ හෙල්මට් එක අතේ තියාගෙන පුදුම වෙච්ච මූණෙන් බලාගෙන ඉන්නවා.
'කාටද කෝල් කරන්නේ?'
ලෙසතු තොල් දෙක ඉස්සරහින් ඇඟිල්ල තියලා සද්ද කරන්නෙපා කියලා ස්නෝට කිව්වා. ස්නෝ කරබා ගත්තා.
'ප්‍රියංකර මාමේ, මම ලෙසතු කතා කරන්නේ. නෑ. නෑ. හදිස්සියක්ම නෙවෙයි. මාමා දැන් කොහේද ඉන්නේ? මම ආවොත් හම්බ වෙන්න පුළුවන්ද?'
හරි අපි දැන් එනවා.'
ආයෙත් මාව හෑන්ඩ් බෑග් එකේ පතුලට ඔබලා ලෙසතු ස්නෝ දිහා බැලුවා.
'යමු'
'කොහේද?'
'කුරුඳුවත්තෙ පොලිසියට'
ස්නෝ ආයෙත් පුදුමෙන්. ඒත් ලෙසතුගෙ බැල්මෙ තිබ්බ ස්ථීර ගතිය නිසාම තව ප්‍රශ්න අහන්නෙ නැතුව ලෙසතුගෙ හෙල්මට් එක ඔළුවට දාලා ලොක් එකත් දැම්මා.
බයිසිකලේ පු‍ටු පු‍ටු සද්දෙ අතරින් ස්නෝ කතාව පටන් ගත්තා.

 

'ලෙසතු මොකක්ද අර ගෑනි කියපු කතාවෙ තේරුම?'
'තේරුම? තේරුම මම එයාට පෙන්නන්නම්කො පොලිසියට ගියාම'

 

ස්නෝ ආයෙත් කතාව නැවැත්තුවා. ඊට පස්සෙ වේගෙ දෙගුණ කරලා, හුළං කපාගෙන බයිසිකලය පදින්න පටන් ගත්තා. ලෙසතු නෙවෙයි වේගය ගැන කිසි සැලකිල්ලක් දැක්කුවේ. සැරින් සැරේ වම් කම්මුල අතගාමින් සයිඩ් කණ්ණාඩියෙන් මූණ බලනවා ස්නෝ දැක්කා.
මම බෑග් එක පතුලේ හිටි බව හැබෑව. ඒත් සැරින් සැරේ මාව එළියට අරගෙන යාළුවන්ට මැසේජ් යවපු නිසා මට ලෙසතුගෙ මූණ හොඳට බලාගන්න පුළුවන් වුණා. එයා හිටියේ තද කරගත්ත කේන්තියකින්. කට, කට ගගා එකට හැප්පෙන දත්වල සද්දෙන් මට ඒක ටක්කෙටම කියන්න පුළුවන් වුණා. අනිත් එක එයා යාළුවන්ට යවපු මැසේජ්වල තිබ්බ කාරණා එච්චර හොඳ ඒවා නෙවෙයි. ඇත්තම කිව්වොත් මට ලෙසතු ගැනත් දැන් සැක හිතිලා තියෙන්නේ. අමොර්ට නොදෙවෙනි වැඩනෙ ලෙසතුත් කරන්නේ.
මගේ ජීවිතේ නිකංම නාස්ති වුණා වගේ හැඟීමක් දැන් මට තියෙන්නේ. නිදහසේ එකයි, බිංදුවයි පාවිච්චි කරමින් පණිවිඩ තේරුම් ගත්ත කාලය වගේ නෙවෙයි මේක. අපි නිකං නිරපරාදෙ මේ ගෑනු, මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට මැදිවෙලා දැන් ඉන්නේ. කලින් තිබ්බ පිරිසිදු මැෂින් ජීවිතය දැන් හීනයක් විතරයි. මේ ඔක්කොටම මුල ඇවකාඩෝ 0.2. එයා තමයි අපිට හිතන්න පුළුවන් කියන වෛරස් එක අපි හැමෝටම ඇතුළු කළේ. දැන් මම මගේ හාම්පුතාව සැක කරන්නත් පටන් අරන්. අපිත් නිකං දැන් මිනිස්සු ගාණට වැටීගෙන එනවද මන්දා. එහෙම හිතනකොටත් මට දැනුණේ පිළිකුලක්.
ස්නෝ 'බ්‍රාස්' ගාලා කුරුඳුවත්තෙ පොලිසිය ඉස්සරහා බ්‍රේක් ගැහුවා. ලෙසතු කිසි කලබලයක් නැතිව හෙල්මට් එක ගලවලා ස්නෝගෙ අතට දීලා ආයෙත් 'යමු' කිව්වා. ස්නෝ දනිපනි ගාලා බයිසිකලෙන් බැහැලා හෙල්මට් එකත් බාගෙට ගලවමින් පොලිසියට ඇතුළු වුණා.

 

'ලෙසතු, මොකක්ද ඔයා කරන්න යන්නේ?'
'එන්නකෝ'

 

ස්නෝ දන්නෙ නැති වුණාට ප්‍රියංකර මාමව මම දන්නවා. තනිකරම යක්සයෙක්!!
මාමව දකිනකොටම ලෙසතු කඳුළු පෙරන්න පටන් ගත්තා. ජම්බු ගෙඩියක් වගේ රතු වෙච්ච කම්මුල අල්ලගෙන මාමා ළඟට දුවගෙන ගියා. ස්නෝ හිටපු තැනම ගල් කණුවක් වුණා.
'මාමේ මේ බලන්න ගෑනියෙක් මට කරපු දේ!!'
ලෙසතු කතාව පටන් ගත්තා. මාමාට නාලාගිරි ඇතාට රා පොවන්නා හේ දිගින් දිගටම නාට්ටියක් වගේ වෙච්ච දේ කියන්න පටන් ගත්තා. ප්‍රියංකර මාමා ඇස්වලින් ගින්දර පිට කරන්න ගත්තා. 'එතකොට අරූ මොකාද?' ස්නෝව පෙන්නලා කතාව අතරමඟදි මාමා ඇහුවා. 'එයා තමයි මාව බේර ගත්තේ. අමොර්ගෙයි, මගෙයි යාළුවෙක්'
'චූටි දූ ගෙදර යන්න. මම වැඩේ බේරන්නම්කෝ'
මට ඉවසුම් නැති වුණා. අනේ අම්මපා වෙලා තියෙන හරිය මදිවටද මේ දැරිවි තවත් ගිනි අවුලන්නේ? මේ යස්සයා මොනවා කරයිද කියලා දෙයියෝ තමයි දන්නේ. හැම එකටම උපදෙස් දෙන්න දන්න ස්නෝ දත කට පූට්‍ටු වෙලා වගේ ඉන්න හැටි!! මේ හැටි ගිනිවිජ්ජුම්බර කරන්න එපාය කියලා කියන්න කෙනෙක් නැති හැටි. මට මගේ ජීවිතේ ගැනත් කළකිරුණා. මීට හොඳයි මාව බිම වැටිලා කෑලි කෑලිවලට කඩලා ගියා නම්.

 

                                         ............................................................................................................

 

බ්‍රේකින් නිවුස්:
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ බිරියක වන සුමුදුමාලි වික්‍රමසිංහ අනවසර ගිනි අවියක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් ළඟ තබා ගත් වරදට පොලිස් අත් අඩංගුවට පත් විය. වැඩි විස්තර රාත්‍රී 6.55 පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න.

 

කාංචනා අමිලානි
@moogater

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL


No Comments on "ඉලෙක්ට්‍රික් 22 | ලෙසතුගේ සාපය"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com