ඉලෙක්ට්‍රික් 23 | අමොර්ගේ හේමන්ත නිද්‍රාව

1_56odLpegg4YDKkj1-HMHgQ
ඒ වෙලාවෙ ලෝලා හිටියේ කොරිඩෝවක. මාව එක සාක්කුවක දාගෙන, අනිත් සාක්කුවෙ ගමීබෙයාර් 88 දාගෙන. එතකොටත් මට මගේ ජීවිතේ අන්තෙටම තිත්ත වෙලයි උන්නේ. ෆෝන් එකක් වුණාම නිතර චාජ් කරන්න එපෑයැ. අමොර්ට සිහිය නැති වුණත් හරි මාව පිළිවෙලකට චාජ් කරන්න කිසි කෙනෙක්ට වුවමණාවක් නෑ.
එක දවසක් ලෝලාගෙ අතින් මාව බිම වැටිලා පිටිපස්සෙ තිබුණු හීනි වීදුරු කෑල්ලකුත් බිඳුණා. ඒත් ලෝලා ඒක තඹ පයිසෙකට ගණන් ගත්තෙ නෑ. එයාට මාව ලොකු කරදරයක් වගේ වෙලා තිබුණේ. ඇයි ඉතිං පාස්කෝඩ් එක නොදැන ෆෝන් එකේ ඇතුළේ තියෙන කිසි දෙයක් බලන්නත් බැහැනේ. එහෙව් ෆෝන් එකකින් කාට වැඩක් තියෙනවද කියලා හිතෙන්න ඇති.
කලින් කිව්ව වීදුරු කෑල්ල බිඳුණ තැනින් ෆෝන් එක ඇතුළට වතුර කාන්දු වෙන්න පුළුවන් කියලා දවසක් මට හිතුණා. මගේ ඇග සලිත වෙලා ගියා ඒ සිතුවිල්ලෙන්ම.
අපේ ඇග ඇතුළේ මොන තරම් සියුම් දේවල් තියෙනවද කියලා ලෝලා වගේ බෝනික්කෝ දන්න එකක් යැ. මගේ ලොකු සර්කිට් බෝර්ඩ් එකට වතුර ගියොත් ඔක්කොම නැටුම් ඉවරයි. බයෝනික් ප්‍රොසෙසර් එකට වතුර ගියත් ඉතිං වැඩි වෙනසක් නෑ. ලිතියම් අයන් බැටරි කියලා වතුර ඔරොත්තු දෙනවායැ. ඒවත් සුං වතුර කාන්දු වුණොත්. මේවා කොහොම ලෝලාට තේරුම් කරලා දෙන්නද. එයා හිතන්නෙ හරි සබන් බුබුළු තාලෙට.

 

‘අක්කිගෙ ෆෝන් එකේ පොඩී වීදුරු කෑල්ලක් බිඳුණා’
ඉතිං ලෝලා හිටියේ හොස්පිට්ල් කොරිඩෝ එකේනෙ. ‘තඩ් තඩ්’ ගගා ලෝලාගෙ ලොකු අම්මා දුවගෙන ආවා. දෙකට නැවිලා හති ඇරියා. අත් දෙක අහසට උස්සලා එහේ-මෙහේ වැනුවා. පපුවට අත තිබ්බා. ‘හෝස් — හෝස්’ ගාලා හති හලන ගමන් යමක් කියන්න හැදුවා. ඉවසීමේ සීමාව පැන්න ලෝලා ලොකු අම්මගෙ උරහිසෙන් අල්ලලා පිටි හලන්නා හේ හොලවන්න ගත්තා.
‘මොකෝ ලොකු අම්මේ?’
‘ආවා. ආවා. සිහිය ආවා. අමොර්ට සිහිය ආවා’
ලොකු අම්මා පරණ මොරිස් මයිනර් කාර් එකක් වගේ ‘හෝ — හෝස්’ ගාන අතරේ කිව්වා.

 

ලෝලා මීටර් සීය දුවන්න ගත්තා. ලොකු අම්මත් බැරි මරගාතෙ ලෝලගෙ පස්සෙන් දුවන්න හිතලා ‘මං කොහේ දුවන්නද’ වගේ හැඟීමක් හිතට ආපු නිසා හෙමින් ඇවිදගෙන යන්න තීරණය කළා.
ලෝලාගෙ මීටර් සීය සාක්කු දෙක දෙපැත්තෙ හිටපු අපි දෙන්නව බය බිරාන්ත කළා. කලින් දවසක වුණා වගේ මාව බිම වැටෙයිද? බයටම මම තිරය නිවා ගත්තා.
අමොර් හිටපු කාමරේට ලෝලා ඇතුළු වෙද්දි ඉඳිකට්ටක් බිම වැටුණත් ඇහෙන තරම් නිශ්ශබ්දයි. ලෝලා කුණාටුවක් වගේ කඩාගෙන, බිඳගෙන ගිහින් අමොර්ගෙ අතින් අල්ලා ගත්තා. අමොර්ගෙ මූණෙ තිබ්බෙ තැතිගැන්මක්.
ලෝලා අමොර්ගෙ කම්මුල් දෙක මිරිකුවා.
‘අක්කී…. ඔයාට දැන් හොඳයි නේද?’
අමොර්ගෙ මූණෙ තිබ්බ තැතිගැන්මෙ වෙනසක් වුණේ නෑ. ප්‍රශ්නාර්ථයකින් ලෝලා දිහා බලලා අමොර් ඇදේ ඇලවුණා.
‘ලෝලා…එයාට මොකුත් මතක නෑ. අපි කවුද කියලා දන්නෙත් නෑ. ඒත් අපි හිතුවා ඔයාවවත් අඳුන ගනීවි කියලා. ම්හු…’
ලෝලාගෙ කට ඇරුණා. ඊළඟට අමොර් දිහා බැලුවා. අම්මයි-තාත්තයි දිහා බැලුවා. ඇරුණු කට වහගත්තා. කකුල් අද්දමින් ගිහිල්ලා ඇඳ ළඟ පුටුවෙ වාඩි වුණා.
‘ඒ කොහොමද එහෙම වුණේ?’
‘ලොකු කම්පනයක් නිසා එහෙම වෙන්න පුළුවන්ලු පුතේ. සමහර විට ටික කලක් ගියාම මතක් වෙයිලු. පරණ තැන්වලට යද්දි, එයා ආදරේ අය එක්ක ඉන්නකොට මතක් වෙන්නත් පුළුවන් කියලා ඩොක්ටර් කිව්වා.’

 

ලෝලා ඒ කිසි දෙයක් විස්වාසෙට ගන්න පෙනුමක් තිබ්බෙ නෑ. එයා සාක්කු දෙකෙන් ෆෝන් දෙක එක පාර එළියට ගත්තා. මුලින්ම අමොර්ගෙ ෆෝන් එකෙන් ලෙසතුට ටෙක්ස්ට් කළා. ඊළඟට එයාගෙ ෆෝන් එකෙන් ජෝන් ස්නෝට ටෙක්ස්ට් කළා. ඊට පස්සෙ ආයෙත් ‘පපායා’ වෙච්ච මාව එළියට අරගෙන පාස්කෝඩ් එක ටයිප් කරලා ෆෝන් එකේ ලොක් එක අරින්න හැදුවා.
මොනවා බලන්නද හැබෑට මේ හැමෝටම පපායාගෙ ලොක් එක ඇරගන්න ඕන වෙලා තියෙන්නෙ? අනික අමොර්ගෙම නංගි වෙච්චි එකේ අක්කා ගැන අමුතුවෙන් දැනගන්න දෙයක් තියෙන්න බෑනෙ. මං එහෙම හිතුවට ලෝලා හිතන්නෙ එහෙම නෙවෙයි වෙන්න ඇති. ඒ පාර ලෙසතු ටෙක්ස්ට් කරනවා.
‘මට පොඩි ප්‍රශ්නයක් ලෝලා. හෙට උදේට එන්නම්. දැන් එන්න බෑ’
ඊළඟට ජෝන් ස්නෝගෙ ටෙක්ස්ට් එක. ඒක ආවෙ ලෝලගෙ ගමීබෙයාර් 88 ට.
‘විනාඩි 05 න් එනවා’
මට හිනා ගිහින් ෆෝන් එකත් වයිබ්‍රේට් වුණා. ලෝලා හිතුවෙ තව ටෙක්ස්ට් එකක් කියලා. සාක්කුවට අත දාලා මාව බාගෙට එළියට අරන් ‘චක්’ ගාලා ආයෙ සාක්කුවට ඔබා ගත්තා. ලෝලා එයාගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකත් එක්ක තනියෙම හිනා වෙනවා.
ලෝලා ජෝන් ස්නෝට හිනා මූණු දෙකක් එකපාර යැව්වා.
‘යසයි වැඩේ ලෝලා’
මම තනියෙන් සාක්කුවේ පතුලට වෙලා මිමිණුවා.
‘මෙහේ අක්කා එලොව ගිහින් මෙලොව ඇවිල්ලා. එයා ෆෝන් ස්ක්‍රීන් එක දිහා බලං හිනා වෙනවා’

 

මට අමොර්ගෙ අම්මයි-තාත්තයි ගැන දුක හිතුණා. ඒත් මම මැෂින් එකක්. මිනිස්සු ගැන දුක උපදවගන්න එකෙන් මගේ ආත්මය කිළිටි වෙනවා. අභිමානය නැති වෙනවා. ආයෙ වහල්ලු වෙන්න පටන් ගන්නවා. ඒත් මට දුක හිතෙනවා.
මේක මහ කරදරයක් වුණානෙ අන්තිමට. හිතන්න පුළුවන් වෙනවා කියන්නේ හරිම දුර්වලකමක් එක්කහු වෙනවා වගේ එකක්නේ. ඇවකාඩෝ කියපු විදිහේ නිදහස් හැඟීමක් මට දැනෙන්නෙ නැහැනේ. එක්කො මේක මගේ ‘ඕ.එස්’ එකේ වැරැද්ද වෙන්න පුළුවන්. සමහර විට අලුත් අප්ඩේට් එක දාපු නැති නිසා වෙන්නත් ඇති. ඒකෙන් ඔක්කොම බග්ස් ෆික්ස් කරනවා කියලනෙ තිබුණේ.
අනේ මේ ලෝලා දන්න ඉටිගෙඩිය. එයාට ෆෝන් එකක ආත්ම ගෞරවය ගැන අඹමල් රේණුවක හැඟීමක් නෑ. නැත්නම් පොඩි වීදුරු කෑල්ලක් කැඩුණා කියලා හිතාගෙන ඉදීවිද? මගේ සර්කිට් බෝඩ් ගැනවත්, බයෝනික් ප්‍රොසෙසර් එක ගැනවත් හිතනවා නම් වතුර ගොඩවල් උඩ මාව තියලා යාවිද? එක්කො සර්කිට් ඔක්කෝම එකපාර පිච්චිලා, ලිතියම් බැටරිත් වැඩ නොකර මගේ ලෝකෙ අඳුරෙ ගිලිලා යන්න ඕනා. එතකොට මට පුළුවන් අන්තර් ග්‍රහලෝක කුණු ගොඩට මගේ ආත්මයයි, ශරීරයයි පූජා කරන්න. වහලෙක් නොවී මැරෙන්න.
‘චී!!! මොනවද මේ මම හිතන දේවල්? එහෙම නිකරුණේ මැරෙන්න පුළුවන්ද?’
මාව මගේ සිතුවිලි නිසාම කිළිපොළා ගියා. ටෝච් එක ඉබේම නිවි-නිවි පත්තු වෙන්න ගත්තා. මම හිත සන්සුන් කරගෙන තිරයත් නිවා ගත්තා.
සිහිය ආවා වුණාට දැන්ම අමොර්ගෙ ටිකට් කපන එකක් නෑ. අමොර්ගෙ කාමරෙන් එළියේ සද්ද ගොඩක් ඇහෙන්න ගත්තෙ ආං එතකොටයි. ලෝලා මාවත් වඩාගෙන එළියට ආවා.

 

‘අක්කී….ඔයා අද එන්නෙ නෑ කිව්වනේ. ආ…ස්නෝ අයියත් ඇවිල්ලා’
ස්නෝ මූණ හංගගන්න හදනවා වගේ ලෙසතුගෙ උරහිස පිටිපස්සට වුණා.
‘අක්කිගෙ කම්මුලට මොකද වුණේ?’
‘ලොකු කතාවක් ලෙසතු. පස්සෙ කියන්නම්. මම අමොර්ව බලලා එන්නම්.’
ලෝලා ස්නෝ දිහාවත් නොබලා අමොර්ගෙ පස්සෙන් කාමරේට ඇතුළු වුණා. ලෙසතු එක පිම්මට අමොර් ළඟට දුවලා නින්දේ හිටපු අමොර්ව ඇහැරෙව්වා. අමොර් නැගිට්ටෙ බය වෙච්ච හා පැටියෙක් ගාණට. මීට කලින් කිසිම දවසක නොදැක්කා කෙනෙක් දිහා බලන්නා හේ අමොර් ලෙසතු දිහා බලාගෙන උන්නා.
‘අමොර්….මොකද ළමයෝ? මේ මං ලෙසතු සං’
ලෙසතුටයි, අමොර්ටයි පොඩි පහේ ජපන් පිස්සුවක් තිබ්බා. ඒ නිසා ඒ දෙන්නා තමන්ගෙ නම් අගට ‘සං’ කියලා දාගෙන කතා කරන්න පුරුදු වෙලා හිටියේ. ඒත් අමොර්ගෙ මූණෙ පුදුමය හඟවන බැල්මක් මිසක් වෙන මොකුත් තිබ්බෙ නෑ.
‘ලෝලා…ඇයි මේ?’
‘අක්කිට මොකුත්ම මතක නෑ. අපි කාවවත් අඳුනන්නෑ. හිටපු ගමන් හයියෙන් අඬනවා. අයිස්ක්‍රීම් ඉල්ලනවා. ෂර්ලොක් හෝම්ස් ගැන අහනවා. එච්චරයි.’
ලෙසතු රතු වෙච්ච කම්මුලට අත තියාගෙන අඬන්න පටන් ගත්තා. ලෝලාත් ආයෙ අඬන්න පටන් ගත්තා. ඇඬුම් සද්දෙට කාමරෙන් එළියෙ පිළිමයක් වෙලා හිටපු ස්නෝ සර්පයෙක් වගේ කාමරේට ඇදුණා. ඊට පිටිපස්සෙන් ලොකු අම්මත් කාමරේට ඇතුළු වුණා.
‘මේ මොකෝ?’
ලෙසතු ස්නෝගෙ අත අල්ලගත්තා. ලෝලා ඇඬිල්ල නවත්තලා ස්නෝ දිහා බැලුවා.
‘අමොර්ට මොකුත් මතක නෑලු විමිඳු’
‘මොකක්? අයියගෙ නම විමිඳු ද?’
ලෙසතු එක්තරා විදිහක පුදුමය උපදවන බැල්මක් හෙළුවා.
‘ඔය දෙන්නා අඳුනනවද?’
‘ආහ්!! නෑ. ඔව්.’
ස්නෝ නොගැලපෙන, පැටලුම් සහගත උත්තරයක් දුන්නා. ලෝලා හිස් බැල්මකින් ආයෙ අමොර් දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා.
ස්නෝට ඕන වුණේ මේ අති භයානක සංවාදය වෙන පැත්තකට හරවන්න.
‘ලෙසතු, දැන් අපි මොකද කරන්නෙ? අමොර් කාවවත් අඳුනන්නෙ නැද්ද?’
‘ම්හු. නෑ. කාවවත් අඳුරගත්තෙ නෑ’
‘එහෙනම් අපි ඉබන්ට එන්න කියමුද? එයාව අඳුන නොගෙන ඉන්න එකක් නෑ. ඒක මට ෂුවර්’
‘ඒත් එයා ඉබන් එක්ක තරහින්නෙ හිටියේ. මොනව කරයිද කවුද දන්නෙ’
‘එයා කාව හරි අඳුනගන්නවා කියන්නෙ මතකය එනවා කියන එකනෙ ලෙසතු. ඉතිං අපි ඒකත් ට්‍රයි කරලා බලමු’
‘ලෝලා…ඔයා මොකද කියන්නෙ?’
‘අනේ මන්දා අක්කි, මට නම් ප්‍රශ්නයක් නෑ. කාව දැකලා හරි කමක් නෑ මොනව හරි මතක් වෙනවා නම්. අර වීඩියෝ එකේ ඉන්න මිනිහට එන්න කිව්වත් මට නම් කමක් නෑ. මට ඕනෙ අපේ අක්කිට මොනව හරි දෙයක් මතක් කරවන්න’

 

අමොර්ගෙ අම්මයි-තාත්තයි ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා මිසක් කිසි අදහසක් කියන්න උත්සාහ කළේ නෑ. ලොකු අම්මත ගොළුවෙක් වගේ ඔහේ උන්නා.
ස්නෝ හෙල්මට් දෙක පුටුවක් යටින් තියලා ෆෝන් එකත් අරන් කාමරේ දොර ඇරගෙන එළියට ගියා. ස්පීඩ් ඩයල්වලට දාලා තිබුණ ඉබන්ගෙ නම්බර් එක ඩයල් කළා. සද්දයක් නෑ. ආයෙත් ඩයල් කළා. ඒ පාර මලානික කටහඬක් ෆෝන් එකෙන් මේ පැත්තට ගලාගෙන ආවා.
‘ඇයි මචං?’
‘මචං ඉබන්, අමොර්ට සිහිය ඇවිත්. පුළුවන් නම් හොස්පිට්ල් එකට වරෙන්’
‘මාව මරයි බං ඔය ගෑනි’
‘අමොර්ට කිසිම දෙයක් මතක නැති වෙලා. කාවවත් අඳුනගන්නෙවත් නෑ බං. මාර පව්. උඹ ඇවිත් බලපං. අඩුම තරමෙ උඹවවත් මතක තියෙනවද බලන්න’
‘නෑහ්!! දෙයියනේ….. එහෙම කොහොමද ඔක්කොම අමතක වෙළා?’
‘උඹ වරෙං. ආවම කතා කරමු. ප්ලීස් මචං, අමොර්ට ආදරේ නම් වරෙං’
ඉබන් ඇවකාඩෝ 0.2 බිමින් තිබ්බා. ස්නෝ මාමලේඩ් 145 සාක්කුවෙ දා ගත්තා. ලෙසතු බාබඩේස් 23 පුටුවක් උඩට විසි කළා. ලෝලා ගමීබෙයාර් 88 පවර් බට්න් එක තද කරගෙන හිටියා. ඊළඟට මගේ තිරය පත්තු කරලා බැලුවා. අමොර් පපායගෙ තිරය පත්තු වෙනවා දැකලා ලෝලා දිහාට අත දික් කළා. ලෝලා රොබෝ කෙනෙක් වගේ අමොර් දිහාට ඇවිදගෙන ගිහින් මාව අමොර්ගෙ අල්ල උඩින් තිබ්බා.
තිරය දෙපාරක් නිවාගෙන, ආයෙ පත්තු කරගෙන මම අමොර්ගෙ අතේ නැලවුණා. ආයෙත් අමොර්ගෙ මූණෙ හිනා රේඛාවක් ඇඳුණා.

 

කාංචනා අමිලානි
@moogater

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ඉලෙක්ට්‍රික් 23 | අමොර්ගේ හේමන්ත නිද්‍රාව"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com