ඉලෙක්ට්‍රික් 24 | කළු කුහරයේ කතාව

3013800b7bcc22b24aeeed021a3b24e4
‘මගේ පපායා’
අමොර් මහ සද්දෙන් කෑ ගැහුවා. ඊට පස්සේ හෝම් බට්න් එක ඔබලා ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බා. තොරණෙ ලයිට් පත්තුවෙන්න පටන් ගත්තෙ එතකොටයි.
‘කෝ ෂර්ලොක් හෝම්ස්’
ලෝලා ඇතුළු පිරිවරගෙන් අමොර් හරිම බරපතලව ප්‍රශ්න කළා.
‘අනේ අපි දන්න නෑ පුතේ එහෙම කෙනෙක්. අමොර්ගෙ තාත්තා යාප්පුවෙන් කිව්වා. අම්මා තාමත් නිච්චියක් නැතිව ඔහේබලාගෙන ඉන්නවා. අමොර් ලෝලා දිහාවට හැරුණා.
‘කෝ එයා? එයාට මොකද වුණේ?’
ලෝලා උත්තරයක් නොදී උරහිස් ඇකිලුවා. ඊට පස්සෙ අමොර්ගෙ ඇඳ ළඟට ළං වෙලා කටහඩේ සද්දෙ හොඳටම අඩු කරලා,
‘ඔයාට පාස්කෝඩ් එක මතක් වුණාද’ ඇහුවා. අමොර් ලෝලා දිහා බැලුවේ ඒ මොන සමයං ප්‍රශ්නයක්ද කියන හැඟීමකින්.
‘මොකටද පාස්කෝඩ්?’

 

ලෝලාට ආයෙත් කට උත්තර නැති වුණා. අමොර් මගේ තිරයට එබීගෙන වයිවාරන ඇප් ඕපන් කරන්න පටන් ගත්තා. සමහරඇප්වලට ඇතුළු වෙන්න නිකන්ම පුළුවන්; කජු කන්නා වගේ. ඒත් සමහර ඇප්වල ඇතුළට යන්න පාස්කෝඩ් ඉල්ලනවා.අමොර් ඇස් ලොකු කරගෙන ඒ ඇප් දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ බීට් මේල් එකේ ‘වයිරස්’ කියලා නම දාලා තිබුණලේබල් එකක් ඕපන් කර ගත්තා. නෝට් පෑඩ් කීපයකම සේව් කරලා තිබ්බ ඉලක්කම් කීපයක් දිහා අරමුණක් නැතිවබලාගෙන ඉදලා ඒවා ඔක්කොම ක්ලෝස් කරලා දැම්මා.
ඊටත් පස්සේ බීට් මේල් එකට අලුතින් ඇවිත් තිබුණ ඊමේල් 50 විතර එකින් එක ඕපන් කරන්න පටන් ගත්තා.
මම කීප පාරක්ම බීට් මේල් එක අස්වාභාවික විදිහට ක්ලෝස් කරලා දැම්මා. නිකං සිග්නල් ඩ්‍රොප් වීමක් හරි ෆෝන් එක ස්ටක්වීමක් වගේ එකක් අඟවන්න. ඒත් අමොර් ආයෙ, ආයෙ එකම ඊමේල් ටික ඕපන් කරන්න හැදුවා. ඊට පස්සේ මම ‘ඕන එකක්වෙච්චාවෙ’ කියලා එකයි, බිංදුවෙන් විතරක් හිතන්න පටන් ගත්තා.
ඒ වෙනකොට අමොර්ගෙ අම්මයි-තාත්තයි මහන්සියට පුටු දෙකක් නිදි කිරා වැටෙනවා. ඊට එහා ලොකු පුටුව්‍ර් ලොකු අම්මානිදි. ලෝලා විතරක් ලොකු උනන්දුවකින් අමොර් කරන දේවල් දිහා ඇහැ ගහගෙන ඉන්නවා. ස්නෝයි, ලෙසතුයි කාමරෙන්එළියෙ දොර ගාව උකුළු-මුකුළු කරනවා. එයාලා ඉන්නේ ඉබන් එනකන්. ඉබන් කාමරේ ඇතුළට යන්න කලින් ලෑස්ති කරලායවන්නයි ඒ දෙන්නා මඟ රැකලා උන්නේ.
හදිසියෙම ලින්ක් එකක් ඕපන් වුණා. ඒකත් අමොර්ට අලුතින් ඇවිත් තිබුණ ඊමේල් 50 උඩ හරියක තිබ්බ එකක්. මහාඅසීලාචාර සද්ද වගේම කෙඳුරුම් ගොඩාක් ෆෝන් එක ඇතුළෙන් කාමරේට කාන්දු වුණා. අමොර්ට යටි ගිරියෙන් කෑ ගැස්සුණා.ඊට පස්සෙ කවුරුත් නොහිතපු විදිහට අමොර් මාව පොළොවෙ ගැහුවා. වාසනාව කියන්නෙ රබර් පාපිස්සක වැදිලා කබඩ්එකක් යටට මාව වීසි වෙලා ගියා. ඒත් මගේ මුළු ඇඟම වයිබ්‍රේට් වෙනවා. ඒක නොනවතින, වේදනාකාරී ගැස්මක්. මට පුදුමබයක් ඇති වුණා.
ඒත් එක්කම අමොර් ආයෙත් ගිරිය යටින් කෑ ගැහුවා.
‘වික්‍රම්!!! වනචරයා!! මගේ ජීවිතේ කෑවා. මම උඹව මරනවා. පුච්චනවා…..’

 

දැන් කාමරේ ඇතුළේ කාමර දහයක විතර සෙනඟ. අමොර්ගෙ අම්මයි-තාත්තයි, නින්දෙන් නැගිට්ට ලොකු අම්මා, ලෙසතු,ලෝලා, ස්නෝ, නර්ස්ලා හය දෙනෙක්, ඇටෙන්ඩන්ලා දෙන්නෙක්, එහා කාමරේ ලෙඩා ළඟ වැඩට ඉන්න සුදු මහත ඇන්ටි, ඊටඑහා කාමරේ කරන්ට් වැදිලා සිහිය නැති වෙලා ගෙනාපු ලෙඩා, දොස්තර කෙනෙක්…ආදී විදිහට පුදුමාකාර සෙනඟක්අමොර්ගෙ කාමරේ ඇතුළේ රැස් කකා හිටියා. ස්නෝ එයාගෙ හැඩිදැඩි අතපය විසි කරලා ගොඩ දෙනෙක්ව කාමරෙන් එළියටතල්ලු කරගත්තා.
මේ ජරමර අස්සේ කිහිළිකරුවකින් ඉබන් ආවා. මහා සෙනඟක් හසුරවන්න තිබ්බ නිසා ස්නෝ දැක්කෙ නෑ ඉබන් එනවා.ඉබන් කලින්ම කාමරේ නොම්මරය අහ ගත්ත නිසා කාටත් කෝල් නොකර ඇවිත්, සෙනඟ අතරින් රිංගලා අමොර්ගෙ මූණඉස්සරහා ප්‍රාදූර්භූත වුණා. ඉබන් දවස් ගාණකින් රැවුල කපලත් නෑ. මහ දුක්බර පෙනුමක් ඒ මූණෙ තිබ්බේ. අබ දැම්මොත්පුපුරන තරමේ කේන්තියෙන් හිටපු අමොර්ට තමන්ගෙ මූණ ඉස්සරහා මතු වුණ ඉබන්ව දැකලා යක්සාවේස වුණා.
එක පාරටම අමොර් ඉබන්ගෙ පපුවට අත තියලා ‘යනවා යන්න මගේ දෑහට නොපෙනි’ කියලා හයියෙන් තල්ලු කරලා දැම්මා.කිහිලිකරුව ඉබේම අතින් අතෑරුණ ඉබන් ලයිට් කණුවක් පෙරලුවා වගේ බිම වැටුණා.

 

‘බුදු අම්මෝ!!! මගෙ කකුල’
ස්නෝ එළියට තල්ලු කරපු සෙනඟ කන්දරාව ඒ පාර ආයෙත් ‘ලෙන් දොර ඇරලා’ කියලා කාමරේ ඇතුළට දුවන් ආවා.
‘අයියෝ මචාං!!!’ කියාගෙන බිම වැටුණ ඉබන්ව උස්සන්න ස්නෝ හදනවා. ඉබන් කකුල අල්ලන් බිරුසන් දෙනවා. අමොර් කන්දෙක අත් දෙකෙන් වහගෙන ‘පලයාං’ කියලා කෑ ගහනවා.
‘මොකක්ද මේ නාඩගම?’
සිස්ටර් කෙනෙක් රකුසු මූණක් දාගෙන ඇවිත් කාමරේ හිටපු හැමෝගෙන්ම ඇහුවා. කවුරුත් උත්තර දෙන්න උනන්දු වුණේනෑ. කාටත් ඕන වුණේ හොඳම ජවනිකාව බලා ගන්න.
‘කරුණාකරලා ඔක්කොමලා එළියට යන්න. ඔව්. ඔව්. ඔයාලත් යන්න. ලෙඩා විතරක් ඉදලා ඔය ඔක්කෝම එළියට යන්න’

 

අමොර්ගෙ අම්මයි-තාත්තයි අඬ, අඬ කාමරෙන් එළියට ගියා. ඊට පස්සෙ අනිත් ඔක්කෝම, අඬමින්-නාඬමින් කාමරෙන්එළියට ලිස්සලා ගියා. ඉබන්ව ට්‍රොලියක් ගෙන්නවලා ඕපීඩී එකට යැව්වා.
‘ඇයි පුතේ මේ කෑ ගහන්නේ?’
සිස්ටර් අමොර්ගෙ ඔළුව අත ගගා අහන්න පටන් ගත්තා.
‘ඔයාට මොනවද මතක් වුණේ? එක පාර ගොඩක් දේවල් කල්පනාවට ගන්නෙපා. අපි හෙමින් සැරේ අනිත් අයව මතක් කරගමු’
අමොර් වැලහින්නක් වගේ අඬන්න පටන් ගත්තා.
‘අර ජරා වීඩියෝ එක මම දැක්කා. මට ඔක්කොම මතක් වුණා සිස්ටර්. දැන් මගේ ඔළුව පුපුරන්න එනවා. ඇයි ඒ මිනිහා මටඑහෙම කළේ?’
කතා කරමින් ඉන්න ගමන් අමොර්ට නින්ද යන්න ඉන්ජෙක්ෂන් එකක් දෙන්න සිස්ටර් ලිවේරාට පුළුවන් වුණා. ඒත් තාම අමොර් කියව, කියවා අඬනවා. ඒත් ටිකෙන් ටික අමොර්ගෙ ඇඬීමේ ශක්තිය අඩුවෙන බව ලිවේරා සිස්ටර් දැනගෙන හිටියා. එහා හෙමිහිට නැගිටලා ගිහිල්ලා ලෝලා ට කතා කළා. ලෝලා ගැහි, ගැහී කාමරේඇතුළට ආවා.
‘අක්කට නින්ද යනකන් ඔහොම ළඟින් වාඩිවෙලා ඉන්න. තව අලුතින් කවුරු ආවාත් අක්කව බලන්න එන්න දෙන්නෙපා.පවුලෙ අය ඇරෙන්න අනිත් ඔක්කෝම කරුණාකරලා ගෙදර යවන්න. මේක සෙල්ලමක් කියලා හිතන්නෙපා.’

 

ලෝලා වගකීම් සහගතව ඔළුව වැනුවා. ලෙසතුයි, ස්නෝයි දෙවෙනි පාරට කැඩුණු ඉබන්ගෙ කකුලෙ තත්ත්වෙ බලන්න ඕපීඩීඑකට ගියා. අඬලම ඇස් ඉදිමිලා ඉන්නු අම්මයි-තාත්තයි ඩිංගිත්තක් ඇහැ පියාගන්න කියලා ගෙදර ගියා. අනිත් ප්‍රේක්ෂකයෝපරාජිත මූණ එල්ලගෙන තම, තමන්ගෙ සාමාන්‍ය වැඩට බැස්සා. අමොර් හරිම සාමාකාමී නින්දකට වැටුණා. ලෝලා එකවිනාඩියක් නොනිදා අමොර්ට තනි රැක්කා.
කිසිම දෙයක් නොවුණ ගාණට අමොර් උදේම නැගිට්ටා. දත් මදින්න, මූණ හෝදන්න බාත් රූම් එකට ගිහින් එන්න ඕන බවකිව්ව නිසා ලෙසතු ඔළුව වනලා ‘හා’ කිව්වා. අලුත් ඇඳුමකුත් තෝරලා අමොර්ගෙ අතේ තිබ්බා. අමොර් දත් මැදලා, මූණහෝදලා එන අතරතුර කාමරේ මොප් කරන්න ආපු මැදි වයසේ ගෑනු කෙනා කබඩ් එක ළඟ බිම මොප් කරද්දි මගේ බදේවැදුණා. එයා මොප් එකෙන්ම මාව එළියට ඇදලා ගත්තා.
‘මිස් මෙන්න ෆෝන් එකක්’ කියන අතරේ අමොර් බාත් රූම් එකෙන් එළියට ආවා. මම කබඩ් එක ළඟ බිම ඉන්නවා දැක්කගමන් අර ගෑනු කෙනාගෙන් මොප් එක උදුර ගත්ත අමොර් මාව චප්ප වෙලා යනකන් මොප් එකේ මිටෙන් තඩි බෑවා. අන්තිමතප්පරය වෙනකන් මට ඕන වුණේ හුස්ම අල්ලන්, වයිබ්‍රේට් නොවී පිළිමයක් වගේ ඉන්න. ඒත් අන්තිම කොසු පාරත් එක්කමාව කළු කුහරයක් ඇතුළට ඇදිලා යනවා තේරුණා.
‘බීප්….බීප්…බී…………….ප්’

 

 

කාංචනා අමිලානි
@moogater

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ඉලෙක්ට්‍රික් 24 | කළු කුහරයේ කතාව"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com