මයිලපත් සමනලුන්ගේ හදක් බර; තෙත කවි•

IMG_2278
"ආයෙමත් එන්නේ ම නෑ' කියා
මා පලා ආ දිනෙක
ඈ මයිල ගස කැපුවා
ඉතා සාහසිකව
විකල් සිහියෙන"

 

පිටකවරයේ මඩ පැහැති පසුබිමේ පත්‍රයකි. පත්‍රයේ බෙදුම් රේඛාවෙන් වම් පැත්තේ එක ගොඩේ ලියූ 'මයිලපත් සමනල්ලු' අකුරු පදාසයකි. රවුමට, රවුමට ඒ වටා පැදකුණු කරන්නට ආරාධනා කරන සුළුය. කවරයේ පසුපස මයිලපත් සමනල්ලු කවියේ ඉහත උදෘතය යි.
මේ කවි සුජීව සිරිමෙවන්ගේ ය. අමුතු සැකැස්මකින් හෙබි ඒ කවි ලාලසාව ඇති කරවන සුළු ය. සිරුර වසා පවතින දුහුල් සළු සුළඟේ යවන්නට තැත් කරවන සුළු ය.
ඈ මයිල ගස කපා දැමුවේ සාහසිකව ය. එවන් විටෙක විකල් සිහිය අනුපානාත්මක ය. 'ආයෙමත් එන්නේ ම නෑ' කියූ පෙම්වතාගේ පලා යාමත්, මයිල ගසේ කොළ සමනලුන් මෙන් ඇගේ හිත නම් බිත්තියේ ඇලීමත් කවරාකාර වේදනා සුවයක්දැයි සොයා ගැනීම කවියා අන් අයට භාර දෙයි.

 

IMG_2280

එකිනෙකා වෙනුවෙන් පැළ රෝපනය කිරීමත්, ඒ රැක බලා ගැනීමත් ප්‍රේමය කියා වර නැඟීම වරදක් විය හැකිය. එහෙත් යමක් උත්පාදනය කිරීමට අනුබල දීමත්, ඒ රැක බලා ගැනීමත් අතර ප්‍රේමයක් නොතිබුණි යැයි සැක කිරීම කවිය උරා බොන අපට තරම් නොවේ. කවියකින්, කියවන්නා උරා ගන්නා ඒ ඉසියුම් රස අතර පුපුරා නොගිය සොව කෙතරම් කාලයක් නඩත්තු කළ හැකිදැයි කිරා මැන බලමින් තාවර වීම කවිය යසටත්, රසටත් අයිතිකර ගැනීමේ උපක්‍රමයක් ලෙස සලකමි.
දින කිහිපයක් පුරා කියවන්නට ලැබුණු කවි පොත් බහුතරය අතර තිබුණු ෆොටෝ කොපි කවි කියවා පෙර කී රස උරා ගැනීමේ කාරියෙහි බලාපොරොත්තු සුන් කරගෙන සිටි හෙයින් 'මයිලපත් සමනල්ලු' කියැවූයේද බලාපොරොත්තු රහිතවමය. එහෙත් දැන් ජවාධික අශ්වයකු මා පෙරලාගෙන දිව්වාක් මෙනි.

 

'අඳුරු ගොම්මන් යාමයේ
නන්නාඳුනන වීදියකදී
මුහුණු ආවරණ පැළඳගත්
ඇගේ
අත් අඩංගුවට
මා පත්වෙයි.
සියලු කෙළි නිමා වෙයි
 
මම ඇගේ
ආදර අත් අඩංගුවෙහි
පසුවෙමි'

 

මේ කවිවලට මා ආශක්ත වී ඇත්තේ ඒවාවල ඇති කාන්දම් ශක්‍යතාව නිසා විය හැකිය. බොහෝ කවි ආදරබරය, එසැනින් ශෝකී ය, අනෙක් පස හැරෙන්නටත් කලින් එතුළම හැංගූ සතුටක් කඩා ඉහිරෙයි. ඒ මැජික්මය ශක්තිය උත්පාදනය වී ඇත්තේ සුජීවගේ කවි බසෙනි. ඒ නිරවුල් ය, තෙත ය, මට සිළිටු ය, ලාලසාත්මක ය.
මීට පෙර එවන් ලකුණු බොහොමයක් අඩු-වැඩියෙන් දුටුවේ දමිත් දහනායකගේ 'තෙමි තෙමිම මම' කවි අතරය. ඉනුත් 'මං කැමති එහෙම' කවියේ ය. ඒ ශූරකම උපයා ගැනීම පහසු නොවේ.

 

'උඩහට පහළට
කොච්චර කෝච්චි ගියත් අපට මොකද
පටි පටි ඉස්ටේෂන් බංකුවේ
සුවය කොතරම්ද'

 

මට ඕනෑ විදිහට කියවාගන්නට නොදෙන කවි පොත තමන්ට ඕනෑ විදිහට මගේ ආරම්මන වෙනස් කිරීම නොසලකා හැරිය නොහැකි තරම් ය. කවි අතර සොය, සොයා වෙහෙසෙන ඔහු සැඟවූ, අපට සොයාගන්නට බැරි වූ 'ඒ මොහොත' සොයාගෙන තමන්ගේ අත් අඩංගුවට ගැනීම කියවන්නාට පැවරෙන ගෙදර වැඩයි. නමුදු සුජීව අපට ගෙදර වැඩ පවරන්නේ නැත. ඒ පැවරුම් පවරා ගන්නේ අප විසින්ම ය.
එසේ වී නම් 'උඩහට පහළට කොච්චර කෝච්චි ගියත් අපට මොකද?'
ඔවුන් නතර වී සිටින හෙයින්ද, කෝච්චි ගමනේ හෙයින්ද අපට මොකක් හෝ වී තිබේ. විප්‍රයෝගී කාන්සිය ඔහු අප පිට පටවන්නේ එහි කිසි බරක් නැතැයි අඟවමිනි. හැඟවුම්කාරක ඉවත් කළ විට ගෝවා ගෙඩියක කොළ ගලවන්නාක් මෙන් ශෝකයේ මතු වෙයි. ඒ පසුපස එන මීදුම් වලා අපව පොරවා ගනී. දැන් කාංසාමය මොහොත ඔහුගෙන් අපට සූක්ෂමව හුවමාරු වී ඇත. දුම්රථයක ටැබ්ලට්ටුව මාරු කරන්නා සේ වැලමිට රවුමක් සේ හදමින් කවියාගේ කාංසිය කියවන්නා භාර ගෙන ඇත. දැන් කුමක් නම් කළ යුතුද?

 

'මේ තරම් පොඩි කර කර
මල් පෙතිත් එක්ක කරන
විහිලුව
නවත්තන්නෙ ම නැද්ද?'

 

මේ ප්‍රශ්නාර්ථ විටෙක මා කළඹයි. ඔහු විසින් කවියේ අග තබන්නට යෙදෙන ප්‍රශ්නාර්ථවල ඇත්තේ සැර ඇඟවුමකි. තර්ජනයකි. මේ කවි 'තෙත' යැයි මා පවසන්නට යෙදුණේ එහෙයිනි. ශෝකී තර්ජන සමඟ ඔහු මේ කරන සෙල්ලම නවත්තන්නේ නැතිනම් තව ඉදිරියට කියවිය යුතුය.

 

'පීලි උඩ
මූණින් මූණ බලන් යන සීට්වල
වරක්,
නෑ දෙවරක් ම තිගැස්සුව ඇස් එක්ක
සාරි දූලක
අමුතු සුවඳක
දැන්
නිතරෝම
හිත
පැටලෙයි'

 

විවාපත් අලුත දම්පාට ලේස් අත්තටු නිසා ගැස්සුණු, තිගැස්සුණු ඇස් දැන් ගිනිකන වැටෙන්නේ දුම්රථ මැදිරි ඇතුළත අහඹු සාරි දූලක් දුටු විටය. දැන් ඔහු තම භාෂාවේ බුහුටිකම පෙන්වයි. ගේහසිත පෙම වෙනත් දර්පනයකින් නරඹන්නට ඔබව පොළඹවයි. වරදට පෙළඹෙන්නේ වී නම් ඒ ඔබේ නැරඹුම් ආසාවේ ප්‍රතිඵලයක් බව හඟවන්නට ගනියි. ඔබ අත වරද වී නම් ඔහු අත කුමක්ද? මේ වචන සෙල්ලම නතර වන්නේ කොතැනද?

 

'සියක්වර කාට හරි කියාගන්නට හිතෙන
ආයෙමත් බැඳ දමා අඳුරු පත්ලට හෙළන
සිහිනෙනුත් පැන ගිහින් පොළෝ ගැබ යට නිදන
නම නොකී මලක් වේ රහස් පෙම සිහි කරන'

 

යළිත් පෙර කී ශෝකී තානයෙන් ඔහු කියවන්නා කළඹයි. විටෙක අත් හරින්නට පොළඹවයි, විටෙක අත්පත් කරගන්නට පොළඹවයි. හැඟීම් මාත්‍ර ද්විත්වයක නිතර දෝලනය වන හෙයින් මේ කවි මා කළඹවයි. ලාලසාව වඩවයි. ප්‍රේමය අරඹයා මොනවා කළත් වැරැදියි කියන ක්ෂුද්‍ර සිතිවිල්ලට පවා ඇද දමයි.
එහෙයින්ම 'මයිලපත් සමනල්ලු' ඇතුළතින්, සීත ගුහාවක ප්‍රවේසමට තැබූ කවි ද, ගිනි කන්දක පිළිස්සීම පිණිස තැබූ කවි ද, සමනලුන් මෙන් සුළඟේ පාවී යන්නටම බල කෙරෙන කවි ද සොයා ගතිමි. අතොරකින් රස උරා බී, අතොරකට මගේ හදවතේ පතුළක හැංඟූ බියගුළු සොවක්ද කැණීමට ඉඩ දුනිමි.
මයිල ගස කපා දමා ඇති හෙයින් මයිලපත් කොහේ පාවී ගියේදැයි සොයන්නට නොවෙහෙසෙමි.

 

කාංචනා අමිලානි•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "මයිලපත් සමනලුන්ගේ හදක් බර; තෙත කවි•"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com