ඉලෙක්ට්‍රික් 25 | මළගිය පපායා

Sam-Ailey-phone-addiction-Hexjam-web_614

මාව අන්ධකාරෙකට වැටුණා. ඒත් ඒ අන්ධකාර කුහරෙ ඇතුළේ පතුලක් තිබ්බෙ නෑ. හැම තැනම අපිළිවෙල වයර් එල්ලෙනවා විතරයි මට පෙනුණේ. ඒ මදිවට තඹ කොළ දියසෙවල පාට රැම් කෑලි පාවෙවී මම ඉන්න පැත්තට ආවා. සමහර තැන්වල ලොකු කාන්දමක එතුණ පොඩි තඹ තහඩු සර්පයෝ වගේ දගලනවත් පේන්න ගත්තා.
මට තේරුණා මගේ කාලෙ ඉවරයි කියලා. ආයෙ බැටරි බැස්සා කියලා චාර්ජ් කරනකන් මඟ බලන් ඉන්න ඕන නෑ. මම මැරුණේ අඩු වයසින්. ඒකත් ස්වාමියාට පක්ෂපාත වෙන්න ගිහිල්ලා. පර ස්ත්‍රීන් ආශ්‍රය කරලා පති භක්තිය බල්ලට දාපු වල් වික්‍රමය නිසා තමයි ඔක්කෝම වුණේ. මටත් තිබ්බේ ඇවකාඩෝ කියපු දේ අහලා අරූව ගෑනු ටිකට අල්ලලා දෙන්න. අමොර් වුණත් කරගෙන ගිය වැඩ ටික හරි නැති බව ඇත්ත. ඒත් වික්‍රමයා, පර බල්ලා, ක්‍රීම්ක්‍රැකර් වනචරයා ඌට තිබ්බා මේවා වීඩියෝ නොකර ඉන්න.
මම මළා නම් මෙච්චර ඒවා හිතන්නෙ කොහොමද? මාව ආයෙත් ගැස්සුණා. මළාම ඔක්කොම කෙළි ඉවර වෙනවනේ. නෑ, සමහර විට ගල්කිස්සෙ කඩේ එකා මගේ ඇතුළේ කෑලි ටික ගලවගෙන වෙන එකෙක්ට හයි කරනකන් මට හිතන්න පුළුවන් ඇති.
ඒත් චී!!! මම හිතන ඒවා!! මීට කලින් මම හරි හැදිච්ච විදිහටනෙ හිටියේ. ඒත් දැන් කොහොමද මෙහෙම කුණුහබ්බ කියන්නේ? මාව බැලන්ස් නැතිව ගිහිල්ලා මෙමරි චිප් කන්දක හැපුණා. අම්මටසිරි!! ඒකෙ හිටිය උන්!! 128 GB ඩෑල් එකකුත් සුළු වරදකින් ක්‍රෑෂ් වෙලා. මම හිතන්නෙ ඌ පෝර්න් සයිට් ගොඩකට ඩේලි ගිහිල්ලා හොට බිම ඇණ ගත්ත එකෙක්.
‘ෂ්…මේ…මේ…මල්ලි….මොකෝ වුණේ’
‘අනේහ්….පලයං බොණ්ඩියේ යන්න.’
මෙමරි චිප් කන්දෙන් බිමට පෙරලෙන ගමන් ඌ කෑ ගහලා කිව්වා. මැරෙන එක ජොලි වැඩක්නෙ කියලා ඊට පස්සෙ මට හිතුණා. කිසි වගකීමක් නෑ. අරමුණක් නෑ. කළුවරේ ගුවන්තලේ පාවෙවී ඉන්නයි තියෙන්නේ.
ඔහොම පාවෙවී කළු කුහරේ අභ්‍යන්තරේට ඇදිල යන අතරේ ජෙලි මාළු වගේ එවුන් ටිකක් කටවල් ඇරගෙන මාරයෝ වගේ එනවා දැක්කා.
‘සන්තානම් මෑණියනේ!! ඒ මොක්කුද?’
‘යක්කු, යක්කු…… අක්කෙ හැංගෙන්න’
කවුදෝ ඈත ඉදන් කෑ ගහනවා මට ඇහුණා.
………………………..
‘යකඩෝ….මං ආයෙ ඉපදිලා.’
ඒත් මේ මොකෝ කතා කරන කැත? මොනාද මං මේ කියන වචන?
හිතන්නවත් වෙලාවක් ලැබුණේ නෑ. අමොර් ඇවිල්ලා මාව වඩා ගත්තා. එයා මගේ මූණ දිහා බලන් හිටිය බැලිල්ලක්!! අම්මෝ!! මගේ ඇග ඇතුළේ ප්‍රොසෙසරය රත් වෙනවා වගේ දැනුණා. ඊට පස්සෙ අමොර් මාව චාර්ජ් කරන්න ප්ලග් කළා.
‘මං කිව්වෙ අක්කෙ, ගල්කිස්සෙ කඩේ අයියා ෆෝන් එක හදාවි කියලා.’
‘නෑ. එයා නෙවෙයි මේක හැදුවේ’
‘කවුද?’
‘විමිඳු’
‘අක්කිත් එයාගෙ ඇත්ත නම දන්නවද? එයා ෆෝන් හදනවද?’
ලෝලා පුදුමය උපදවන මූණෙන් එක පාර ප්‍රශ්න දෙකක් ඇහුව එකට අමොර් කැමති වුණේ නෑ.
‘ලෝලා, ඔයා කොහොමද විමිඳුව අඳුනන්නෙ?’
‘නෑ. මම දන්නෑ. එදා ලෙසතු අක්කි එක්ක එයා ආපු වෙලේ……’
ලෝලාට වාක්‍ය ඉවර කරන්න ලැබුණේ නෑ.
‘ලෙසතු එක්ක විමිඳු ආවා?’
අමොර්ගෙ පුදුමය කොච්චරද කියනවා නම් ලෝලට බය හිතුණා ඇස් දෙක බිමට වැටෙයි කියලා.
‘ඔව් අක්කී. අර එදා, ඔයාට සිහිය ආපු දවසෙ ආවා’
‘ඔක්කොම එකයි. ඔක්කොම එකයි. යාළුවො නෙවෙයි මුං මාරයෝ.’
අමොර් මාව අතට ගත්තා චාර්ජ් කරන්න ප්ලග් කළ බවත් අමතක වෙලා. ලෝලාව ආයෙ ගැස්සුණා.
‘අනේ අක්කි ආයෙ නම් ඕක පොළොවෙ ගහන්නෙපා’
‘ඔයාට පිස්සුද ලෝලා? මං මොකටද ආයෙ මේක පොළොවෙ ගහන්නෙ?’
අමොර් පුටුවක් ඇදගෙන ඇවිත් මගේ ළඟින් තියාගෙන වාඩි වුණා. ඊට පස්සේ ඉබන්ගෙ ඊමේල් එකට ලොග් වුණා. පාස්වර්ඩ් එක මාරු කළා. ෆෝල්ඩර් දෙකකට අලුත් පාස්වර්ඩ් දාලා ලොක් කළා. ඊට පස්සෙ කකුල් දෙක පද්ද, පද්ද වික්‍රම්ට මේල් එකක් ලියන්න පටන් ගත්තා.

 

වික්‍රම්,
මචං, පහුගිය කාලෙ වෙච්ච ඔක්කොම අමතක කරමු. මම සමාදාන වෙන්න කැමතියි, පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නවා කියලා මේ ඔක්කොම පිළිවෙලක් කරගත්තෙ මේක දිගින්, දිගටම ඇදෙනවා බලන් ඉන්න බැරිකමට. උඹ මට වෙඩි තිබ්බෙ වැරැදි වැටහීමකින් කියලා දැන්ගන්නකොට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයිනෙ. දැන් අමොර්ටත් සිහිය ආපු එකේ අපි මේ කුණු හිත්වල තියන් පැසවෙන්න අරින එකේ කිසි තේරුමක් නෑනෙ.
උඹ ළඟ තියෙන අමොර්ගෙ වීඩියෝ ටික ඩිලීට් කරලා දාපං. නැත්නම් මට ඒ ටික දියන්. මම උඹට කරපු උදව්වෙ හැටියට ඔය දෙකෙන් එකක් උඹ කරාවි කියලා මං විස්වාස කරනවා.
ඉබන්.

 

අමොර් ආයෙ කකුල් පද්දන්න ගත්තා. ඊට පස්සෙ බීට් මේල් එකේ ඉන්ටර්ෆේස් එක දිහා බලන් හිටියා. සෙන්ඩ් බොත්තම එබුවා.
‘යකඩෝ!! අමොර්නෙ දවසකටවත් ගෑනි.’
තප්පරෙන් දහයෙන් පංගුවක්වත් ගියේ නෑ. උත්තරයක් ආවා.
‘හරි මචං. තෑන්ක්ස්. මම උඹට කෝල් කරන්නම්’
එතකොට මොකටද වික්‍රම් ‘හරි’ කියලා කිව්වේ. මාව පැටලුණා. අනික කෝල් කරන්නම්‍ ය කියලත් ලියලනෙ. මාව ආයෙ පඹ ගාලක පැටලුණා. අමොර්ට ගාණක්වත් නෑ. මාව ස්ටූල් එකක් උඩින් තියලා එයා යන්න ගියා.
ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා.
‘අමොර් ගෑනියේ!! බුදු අම්මෝ මෙන්න වික්‍රමයා කෝල් කරනවෝ.’
මම යටි ගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ඒත් ඇයි වික්‍රම් ඉබන්ට කෝල් කරනවා කියලා අමොර්ගෙ ෆෝන් එකට කතා කරන්නෙ? මට මේවා තවත් කල්පනා කරන්න බෑ. යකෝ මීට හොඳයි මැරුණ විදිහටම උන්නා නම්.
අමොර් ආවා ලැසි ගමනින්. කටේ ලොලිපොප් එකක්. ස්ක්‍රීන් එකේ වික්‍රම්ගෙ නම්බර් එක දැක්කා විතරයි යකෙක් දැක්කා හේ අවේස වුණා. ගත්ත මාව අතට. දමල ගැහුවෙ නැතැයි පොළොවෙ. ඒ පාර නම් මං මළා. ඇත්තටම මළා.
‘බී………ප්’

 

කාංචනා අමිලානි
@moogater

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ඉලෙක්ට්‍රික් 25 | මළගිය පපායා"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com