“ක්ලාරයි ඇගේ මල්ලියි” අපේ ළමයින්ට විස්මලන්තයක්

clara

බාල්ඩුයින් පෝනියා ගැන මට මුලින් තිබ්බෙ අපැහැදීමක්. හැබැයි උගේ නම අපූරුයි කියනෙක නම් පොඩ්ඩක්වත් අමතක කරන්න බෑ. 'බාල්ඩුයින්' කියලා ළමයකුට වුණත් දාන්න යසයි කියලයි ඊළඟට මම හිතුවා. ඒත් පෝනියෙකුගේ නමක් ළමයෙකුට දාන එකට ක්ලාරයි, එයාගෙ මල්ලියි මොනවා කියයිද මන්දා! බාග වෙලාවට එයාලා කියාවි 'මොනවා? පෝනියෙකුගේ නමක් ළමයෙකුට දාන්න? කියලා'. තවත් සමහර විට කියාවි ' ඒක නම් හරි අපූරු අදහසක්' කියලා. කොහොම වුණත්, මට අනවශ්‍ය අවධානමක් ගන්න ඕන වුණේ නෑ. ඔය අතරේ ක්ලාරා දිව්වා ගේ ඇතුළට. ඊළඟට ක්ලාරගෙ මල්ලි ඒ පස්සෙන් නැට්ටක් වගේ දිව්වා. ආං... ඒ පාර කවුද පිදුරු තොප්පියක් කනවලු. යස්ස වැඩක්නෙ ඉතිං!! පිදුරු තොප්පි කන කෑමක්යැ! මට ආයෙත් පුදුම වෙන්න සිද්ධ වුණා. මෙහෙම ගිහින් අද දවස ඇතුළට විසි-තිස් පාරකට වඩා පුදුම වෙන්න වෙයිදා මන්දා කියන සිතුවිල්ලෙන්ම, මා අයිස් වගේ සීතල වුණා.
'ක්ලාරා මේ අහන්න, පිදුරු තොප්පි රස ද?'
මං ක්ලාරහෙන් ඇහුවෙ නුවමනා ප්‍රශ්නයක් ද මන්දා. ක්ලාරා ඇඟිල්ලක් කටේ ගහගෙන කල්පනාවට වැ‍ටුණා. මම ක්ලාරගෙ මල්ලි දිහාවටත් හැරුණා. එයා ඊට එහා හාදයෙක් පාටයි. එයා ඇගිල්ල කටේ ගහන් ඉන්න ක්ලාරා දිහා බලන් ඉන්න පටන් ගත්තා.
'අක්කේ!! පිදුරු තොප්පි රස ද?'
ක්ලාරා අන්තිමට නිගමනේකට ආවා. එයා ඇඟිල්ල කටෙන් එළියට අරන් උත්තරයක් දෙන්න හිතාගෙන, මගේ පැත්තට හැරුණා. ඊට පස්සේ ඉතා ම ආචාරශීලීව කිව්වේ මෙච්චරයි. එක කෙටි වාක්‍යය යි.
'අනේ මම දන්නෑ'
'මටයි, මගේ අක්කා ක්ලාරාට යි පළමු වතාවට බාල්ඩුයින් පෝනියා මුණ ගැහුණේ ඕලන්දෙදී.
ඒක සිද්ධ වුණේ මෙහෙම යි. මං ඔයාලට අකුරක් නෑර විස්තර කරන්නම්'
ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නේ. මේ 'මමයි මගේ අක්කා ක්ලාරායි' කතා මාලාවේ තෙවැන්න 'පිදුරු තොප්පි සහ ගිම්හාන නිවාඩුව' අපිව බාල්ඩුයින් පෝනියගේ ලෝකයට අතෑරලා දාන හැටියි. හැබෑටම ළමා කතා කියවන්නේ ළමයින්ට වඩා වැඩිහිටියන් ද කියලා සාධාරණ සැකයකුත් මට ඇති වුණා. ඒ මොකද, වැඩිහිටියෙක් වුණ මම, ඒ ස්වල්ප විනෝදයක් ලබමින් හිටිය නිසයි. දේවිකා වඩිගමංගාව ළඟ තිබෙන නොනැසෙන ළමයාගේ ළමා විනෝදය තමයි මෙහෙම වයස් සීමාවකින් විනිර්මුක්තවම හැමෝටම ලබා දෙන්නේ. ඊළඟට මේ සූක්ෂ්ම විනෝදය ග්‍රහණය කර ගන්න, පොඩිහිටියා පැත්තට හැරුණහම, අර කලින් ආපු නිගමනය වැ‍රැදියි කියලත් හිතෙන්න පටන් ගන්නවා. ඒත්, තීරණ දෙකක් අතරමැද තව දුරටත් මට ජීවත් වෙන්න බෑ. ඝන බැම්මෙන් බැඳුණ වර්ණවත් අලුත් පොතත් එක්ක මම හිතුවා යම් තීරණේකට එන්න. ඒ තීරණය පොත නොකියවූ අයගේ කියැවීමට සුළු තල්ලුවක් වේවි කියලත් මම හිතනවා.
සිංහල සාහිත්‍යයට, පරිවර්තිත ළමා සාහිත්‍යයේ ආලෝකය නිතරම ලැබුණා. ඒත්, බොහෝ වෙලාවට මුල් පොතෙන් කළ සිංහල පරිවර්තන, සිංහල පාඨකයාගෙ අතට ලැබෙනවා අඩුයි. ඔවුන්ගේ අතට එන්නේ දෙවැනි සහ තෙවැනි භාෂාත්මක පරිවර්තනයි. මේ නිසා, රස හීන වීමේ අවධානමකුත් තියෙනවා. දේවිකා වඩිගමංගාව ගෙ 'මමයි මගේ අක්කා ක්ලාරා යි' පරිවර්තනය වෙන්නේ එවන් වාතාවරණයකයි. ඈ මේ සියලු පොත් සිංහලට පරිවර්තනය කරන්නේ, මුල් ජර්මන් බසින්. ජර්මන්-සිංහල ළමා සාහිත්‍ය පාලමක් හැදීම ගැන මීට කලින් කවුරුවත් දැඩිව හිතලා තිබ්බෙ නෑ. ඉතා ම කලාතුරකින්, ජර්මන් භාෂා කෘති සිංහලට පරිවර්තනය වෙනවා. මේ දුර්ලභ අවස්ථාව දේවිකා වඩිගමංගාව මුලින්ම තමන්ගෙ අතට ගන්නවා. ඊළඟට, අවශේෂ ළමා රසිකයාට එය පිරිනමනවා.
ඒ අතරේ වලිගය කොඩියක් වගේ ඉහළටම උස්සගෙන, බාල්ඩුයින් පෝනියා එහේ-මෙහේ පනිනවා. උරුවම් බානවා. 'ඒයි මේ...' කියලා තොල් උල් කරගෙන, මාව කතාවට අල්ල ගන්න හදනවා. මම වැඩිහිටියෙක්. මේ වගේ ළමා කතාවක ඉන්න පෝනියෙක් එක්ක මට මොන කතාවක්ද?
'ඔය කිව්වට එයාගෙ හිත උණු වෙයි!'
බාල්ඩුයින් පෝනියා එහෙම මතුරමින් 'ටක ටකස්' සද්දෙන් අපේ කන්තෝරුව ඉස්සරහිනුත් ඇවිදින්න පටන් ගන්නවා. දැන් මගේ හිත උණු වීමේ අවධානමකට ලක් වෙලා, අතීරණාත්මකව බලාගෙන ඉන්නවා. ඒ පාර 'කසිමියර්' ඇවිල්ලා, තමන්ගේ බෙල්ලේ බැඳලා තියෙන සීනුව හොලවන්න ගන්නවා. තමන්ගේ නැට්ට සාරි පොටක් වගේ ඇඟ වටේ ඔතාගෙන, බිම වාඩි වෙනවා. ඊ ළඟට ආවේ බූල් සපිරි 'ස්නූ‍ෆි'. එයාලට කියන්න තිබ්බෙත් එක වාක්‍යය යි.
'අපිව ඕලන්දෙ එක්ක ගියේ නෑ ඒයි'
මේක හරියට සත්තු එක්ක කතා කරන රහස දැනගත්තා වගේ වැඩක් වුණානේ. අවංකවම කිව්වොත් මට 'කසිමියර්' ගෙ නමටත් හිත ගියා. පංකාදු නම. මට නමක් කලින්ම දාලා තිබුණේ නැතිනම්, මට වුණත් කසිමියර් කියන නම ගැළපෙනවා. ක්ලාරලා කසිමියර්-ස්නූ‍ෆි යුවළ මේ ගමනට එක්ක නොගියේ 'මේ වගේ ගමන් ගියහම, එයාලාගෙන් කරදර නිසා'. ඒත් මට හිතක් තිබ්බෙ නෑ, ඒක කියලා සුනඛ-බළල් මිතුරන්ගෙ ජීවිතේ සාමයට තර්ජනයක් වෙන්න.
ඕලන්දෙ ගිම්හානෙට අහු වුණ ළමයින්, රතු තක්කාලි ගෙඩි දෙකක් වගේ වුණ නිසා, අම්මා හිතුවා ඒ අයට පිදුරු තොප්පි අරන් දෙන්න. අම්මයි-තාත්තයි එයාලා දෙන්නටත් පිදුරු තොප්පි දෙකක් ගත්තා. පිදුරු තොප්පි ගත්ත තැන කඩේ උන්නු පෝනියා ලොකු දත් පෙන්නලා හිනා වුණායින් තමයි, වැඩේ නරක අතට හැරුණේ. ළඟට ගියා විතරයි කපටි පෝනියා ක්ලාරගෙ මල්ලිගෙ පිදුරු තොප්පිය 'හබුං කටයි-බත් දෙකටයි' කියලා කාලා දැම්මා.
'මොකක්ද ඒ කරපු කැත වැඩේ' පෝනියා වගේ වගක් නැතිව ඔහේ හිටගෙන හිටියා. ඊළඟට එයා තමන්ගෙ අක්කා ළඟට දිව්වේ නඩුව කියන්න. 'ක්ලාරා....පෝනියෙක් මගේ ඔළුවෙ තිබුණු තොප්පිය කෑවා!'
ක්ලාරා, ඔය කිසි දෙයක් ආවාට-ගියාට පිළිගන්න සැම්පලේ කෙනෙක් නෙවෙයිනේ. එයාට ඕන වුණා පෝනියව දකින්න. පෝනියා හිටියේ කල්පනාකාරීව. තවත් පිදුරු තොප්පියක් තමන්ගෙ දෙපතුළ ළඟට එනවා බලාගෙන ඉන්න එකේ තියෙන්නෙ මොන තරම් විනෝදයක්ද? ඒත් පෝනියට කන්න ලැබුණේ පිදුරු තොප්පියෙන් බාගයයි. ඊළඟට ක්ලාරගෙ තාත්තගෙ නොසැලකිල්ල නිසා පෝනියට තවත් පිදුරු තොප්පියක් ලැබුණා. ඊ ළඟට පිදුරු තොප්පි අලාබෙට ක්ලාරටයි, එයාගෙ මල්ලිටයි මුළු නිවාඩු කාලෙම පිටේ යන්න යස පෝනියෙක් හම්බ වුණා.
බාල්ඩුයින් පෝනියා හිස නවාගෙන ඉන්න අතරේ, පරිවර්තිකාව ඇගේ ළමා කාලය ගැන කියනවා. තාත්තා තමන්ට කුඩා කළ කියා දුන්න, 'එක් වියතාගේ අපූරු කතාන්දරය' කෙටියෙන් කියනවා. තාත්තා තමන්ට කතා ගොතා කියන්න දිරි දුන් හැටි කියන විට, ඇගේ දෑසෙන් නික්මෙන එළියෙන් දැන් සභා ගැබ එළිය වෙනවා. 'යකාගේ මලක්' ලියූ පියල් උදය සමරවීර, පරිවර්තිකාවට එහා පු‍ටුවේ ඉන්නෙ මද හිනාවෙන්. ඊ ළඟට ඈ පොතේ පරිච්ඡේදයක් කියවනවා. සභාවේ සිනා, මද සිනා, කොක්සන් නැ‍ඟෙනවා. එතකොට ඉදිරි පේළියේ වාඩිවෙලා ඉන්න කුඩාවුන් ගේ ඇස්වලින්, කලින් කියපු ආලෝකය විහිදෙනවා මට පේන්න ගන්නවා.
ළමා ලෝකය තේරුම් ගැනීම තරම් අමාරු දෙයක් තවත් තියෙනවද කියන සිතුවිල්ලෙන් වැඩිහිටියන් ගේ ලෝකය හදිසියේම කුඩා වෙන්න පටන් ගන්නවා. මම ඒ කුඩා ලෝකයේ විස්මලන්තයට ගිය ඇලිස් වගේ තවත් කුඩා වෙනවා.
පෝනි හටන පටන් ගත්ත නිසා, මට ආයෙත් ඕලන්දෙට යන්න වුණා. එතකොටම පු‍ටුවක් කරේ තියාගෙන ක්ලාරයි, ක්ලාරගෙ මල්ලියි තානායමෙන් එළියට බහිනවා. තානායමේ සේවකයා ඇවිත් පු‍ටුව පැහැර ගත්ත නිසා, ක්ලාරා පෝනියා ගැට ගහලා තියෙන ගහට නඟිනවා. හැබැයි පනින්නෙ පෝනියගේ ඇගට වුණාට වැටෙන්නෙ බිමට. ඊළඟට තවත් උපක්‍රම. අන්තිමේදී මැලියම් ගාපු ගෝනියකුත් පෝනියගේ පිටේ ඇලෙව්වා. ඒ තමයි පෝනි හටනෙ අවසානේ.
'අපිවත් ඕලන්දෙට එක්ක ගියා නම් ඔහොම වෙන්නෑ.' කසිමියර් මුක්කන් හඬින් කිව්වෙ, තමන්ගෙ බළල් කපටිකම හංගගෙන. මට බෑ බළලුන්ට ඇහුම්කන් දෙන්න. ඒත්, මේ අය එතකොටත් කන්තෝරුවේ මේසෙ යටටත් රිංගගෙන. ඔන්න ඒ අතරේ 'එක් වියතා'ත් කන්තෝරුවට ඇවිල්ලා. හැබැයි කිසි කතා-ලතාවක් නැතුවම දින දර්ශනයක් උඩට නැඟලා වාඩි වුණා. 'හා...හොඳයි. එහෙනම් ඔහෙත් ඇවිල්ලා'. මට එහෙම නොකියා බැරි වුණා. එක් වියතා හූම් නොකියා ඔළුව වැනුවා. මමයි, මගේ අක්කා ක්ලාරායි පොතේ තුන් වැන්නේ පුංචි කතා අටක් තියෙනවා. හැම පුංචි කතාවක් ඇතුළේම මදියි නොකියන්න හිනා සද්දත් තියෙනවා. මේ හිනා සද්ද පොතක් ඇතුළෙන් ඇහෙන්න සැලැස්වීමේ කටයුත්ත ලේසි නැති බව අවධාරණය කරන්න ඕනා. ඝන බැම්මෙන් බැඳලා, වර්ණ පින්තූර එක්ක ඉදිරිපත් කරලා තියෙන පොතේ සැකැස්ම, හරි ම සිත් ඇදගන්නා සුළුයි. ලාබ ළමා කතා පොත් අතරේ, මේ වගේ සාරවත් ළමා පොත් ඉතා ම ඉහළ තැනක ස්ථානගත වෙන්න ඕනා. මේ කතා මාලාවේ පළමු පොත් යුගළට 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳ ම පරිවර්තිත ළමා සාහිත්‍ය කෘතියට හිමි සම්මානය ලැබුණා. ඒ අගය කිරීම ළමයින්ටයි කියලයි මම හිතන්නේ.
ක්ලාරයි, එයාගෙ මල්ලියි හොල්මන් සෙල්ලම් කරනකොට, කසිමියර්-ස්නූ‍ෆි දෙන්නා ගෙදර උන්නා. හා...හොඳයි එහෙනම් එයාලට තිබුණනේ ඒ අක්කා-මලෝ දෙන්නව හොඳට බලාගන්න. කසිමියර්ගෙන් ඒ ගැන ඇහුවහම, එයා කන්පට ගසලා, නැට්ට ලෙවකන්න වුණා. ස්නූ‍ෆි හීන් සද්දෙන් කිවිසුම් අරින්න වුණා. 'හා...එහෙනම් ඒකත් කමක් නෑ, ඔහේලා දෙන්නට තිබ්බනේ ඇපල් කෑමේ තර‍ගෙ නවත්තන්න.'. මම හිතන්නේ කසිමියර්-ස්නූ‍ෆි තාවකාලික බිහිරිභාවයට පත් වෙලා. 'එක් වියතා' ඒ පාර නම් ඇහැක් ඉඟි මරලා හිනා වුණා. 'එතකොට ශක්තිවන්තයා කවුද බලන්න, අම්මගෙ රෙදි වැල ගලවලා අරන් කඹ ඇඳලා කොදු කඩා ගන්නකොට, ඔහෙලා කොහෙද හිටියේ?', 'පිළිවෙළට ගේ තියාගන්න ඕන කියලා අස් කරලා, අම්මගෙ මාලෙ සිගරට් අළු බඳුනෙන් අරන්, අම්මගේ අත් බෑගයට දැම්ම වෙලාවේ කොහෙද හිටියේ? ඒ පාර කසිමියර් ඤාව්! දෙකක් කිව්වා. ස්නූ‍ෆි බුහ්! හතරක් කිව්වා. යසයි වැඩේ! මට හිතුණා.
ක්ලාරා බටකොළ ආච්චිට ඇඳපු එකයි, ක්ලාරගෙ මල්ලි චීනෙක් වෙච්ච හැටියි කියන්නයි කියලා කසිමියර් ඒ පාර නහයෙන් අඬන්න පටන් අරන්. ස්නූ‍ෆිට තියෙන්නෙ වෙන ඉල්ලීමක්. ක්ලාරයි-මල්ලියි අම්මගෙයි තාත්තගෙයි සපත්තු පොලිෂ් කරපු හැටි කියන්න කියලයි එයා කියන්නේ.
'ක්ලාරා, ගෙදර බිමට පැපොල වගේ බෝවෙන ලෙඩක් හැදෙන්න පුළුවන්ද?'
ඔන්න එතකොට 'එක් වියතා' ආයෙත් අතකින් කට වහගෙන හිනා වෙනවා.
'ඔයාට චීනෙක් වෙන්න ඕනැද, එපාද?' ඒ ප්‍රශ්නෙට කසිමියර් බළල් හිනාවක් පෑවා. සත්තු එක්ක කතා කරන රහස දැනගත්තා කියලා හිතුණට, කසිමියර්ගෙ හිනාවෙ තේරුම නම් මට කිසි ම වෙලාවක වටහා ගන්න පුළුවන් වුණේ නෑ. අන්තිමට දේවිකා වඩිගමංගාව ඇවිල්ලා හීන් හිනාවෙන් කැලැන්ඩරේ උඩ වාඩි වෙලා හිටපු 'එක් වියතාව' එක්කගෙන ගියා. එක් වියතාත් හූම් නැතිව ඈත් එක්ක යන්න ගියා.

 

කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "“ක්ලාරයි ඇගේ මල්ලියි” අපේ ළමයින්ට විස්මලන්තයක්"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com