ආලේඛ්‍ය | 05

මගේ පොත හොරට ගහලා
මටම අඩු ගාණට දෙන්න හැදුවා
-අරුන්දතී රෝයි

අරුන්දතී රෝයි සුප්‍රකට වූයේ පළමු නවකතාව, The God of Small Thingsලිවීමෙන් පසුවය. හොඳම ප්‍රබන්ධයට පිරිනැමෙන බුකර් සම්මානය ඇය දිනා ගත්තේය. ඉන් වසර 20ට පසුව පළ වූ දෙවැන්න, The Ministry of Utmost Happiness නිකුත් වී කෙටි කලකින්ම භාෂා 46 ට පරිවර්තනය විය.

18557306_1421246351273767_3593011248997368486_n

මම හැදුණේ, වැඩුණේ කේරලයේ කුඩා ගම්මානෙක. ඒ ජීවිතය මට දැනුණේ නපුරු හීනයක් වගෙයි. ගමෙන් පැනලා යන එකට වඩා දෙයක් මට තිබුණෙ නෑ. ගමෙන් පැනලා ගියා නම් ගමේ මිනිහෙක්ව කවදාවත් කසාද බඳින්න ඕන වෙන්නෑ. කොහොමත් ගමේ කාටවත් මාව කසාද බැඳගන්න ඕන වුණෙත් නෑ. ඒ කාලෙ කෙල්ලෙකුට පිහිටන්න පුළුවන් නරකම දේවල් ඔක්කොම මට පිහිටලා තිබ්බා. කෙට්‍ටුයි, කළුයි, බුද්ධිමත්. ඉතිං කාටවත් මාව ඕන වුණේ නෑ. මගේ අම්මා හරි වෙනස්, නීති තදයි. අම්මා බැඳගත්තේ බෙංගාලි හින්දු පිරිමියෙක්ව. ඊටත් නරක දේ ටික කාලෙකින් අම්මා, තාත්තව දික්කසාද කරපු එක. ගමේ හැමෝම කිව්වෙ ඒක මහ දරුණු තීරණයක් කියලා. කේරලයේ ජීවත් වුණ හැමෝටම පෙළපත් නමක් තිබ්බා. හැබැයි තාත්තෙක් නැත්නම් දරුවෙකුට පෙළපතක් නෑ. ලිපිනයක් නෑ.
මම හැදුණේ-වැඩුණේ ‘අයෙමෙනෙම්’ කියන පුංචි ගමේ. The God Of Small Things ලියන්න පදනම් වුණෙත් මේ නගරෙ. සාමාන්‍ය මධ්‍යම පංතියෙ ගෑනු ළමයෙකුගේ ජීවිතේ කිසිම දෙයක් මට නොලැබුණ එකට එක අතකින් මම ස්තූති කරන්න ඕනා. මට තාත්තෙක් හිටියෙ නෑ. අපිව රැක බලා ගන්න හිලව්වට අම්මටයි-මටයි තඩිබාන්න, ගෙදර පිරිමියෙක් නොහිටපු එකට මම කැමතියි. මට කුලයක් තිබ්බෙත් නෑ, පංතියක් තිබ්බෙත් නෑ. ආගමක් තිබ්බෙත් නෑ, ගරු කරන්න-මාව අන්ධ කරන්න සම්ප්‍රදායවල් තිබ්බෙත් නෑ. එහෙම තිබ්බා නම් ඒවාවලින් ගැලවෙන එක ලේසි නෑ.

God-of-small-things

‘මොනවා කළත් කමක් නෑ, හැබැයි කවදාවත් කසාදයක් නම් බඳින්න එපා’කියන අම්මා කෙනෙක් ඉන්දියාවෙන්ම හිටියෙ මට විතරක් වෙන්න ඇති කියලා වෙලාවකට මම හිතනවා.
මගේ අම්මා ෆෙලිනිගෙ චිත්‍රපටි පසුතලේකින් පිටමං කරපු කෙනෙක් වගෙයි. එයා හිටියේ සම්පූර්ණ උමතුවකින්. ඒත් පිරිමියෙක් නැතිව ගෑනියෙක් සතුටින් ජීවත් වෙනවා දකින්න ලැබුණ එක හරි ලස්සන අත්දැකීමක්. අපිට නිතරම වෛරී ලියුම් ආවා. එතකොටත් මගේ අම්මා ගමේ ඉස්කෝලයක් අති සාර්ථකව කරගෙන ගියා. ළමයි ඉපදෙන්න කලින් ඉදලම අම්මලා-තාත්තලා ඉස්කෝලෙ ඉඩක් වෙන්කරව ගත්තා. කොහොමත් අපෙ අම්මා එක්ක වගේම මගේ එක්කත් මොනවා කරන්නද කියලා ගමේ මිනිස්සු දැනගෙන හිටියෙ නෑ. ගමේ මිනිස්සුන්ට අපි දෙන්නම, සාමාන්‍ය චාරිත්‍ර වාරිත්‍ර නොසලකන දෙන්නෙක්. ඒත් අවම වශයෙන් අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන් වුණා. ඒකමයි ගමේ මිනිස්සුන්ගෙ ඔළු අවුල් කළෙත්.
අම්මයි-තාත්තයි දික්කසාද වෙනකොට මට වයස අවුරුදු තුනක් විතර ඇති. අම්මයි-මමයි-සහෝදරයයි තමිල්නාඩුවට ගියා. එහේදි අපිව ප්‍රතික්ශේප වුණා. ඊට පස්සේ කේරලේ ‘අයෙමෙනෙම්’ කියන ආච්චිගෙ ගමට ගියා. මට අවුරුදු පහේදී ආච්චිගෙ ගෙදර ඉදන් එක බස් එකක දුර කොට්ටායම් ටවුමෙ රොටරි ක්ලබ් එකට අයිති ගොඩනැගිල්ලක ඉස්කෝලයක් පටන් ගත්තා. ඉස්කෝලෙ ඉවර වුණාම අම්මයි-මමයි ඩෙස්-පු‍ටු ටික එකට ගොඩගහලා ගෙදර එනවා. ආයෙ උදේට ඒවා බිමට බානවා. ශේක්ස්පියර්ගෙ, කිප්ලින්ග්ගෙ සාහිත්‍ය, කතකලී නැ‍ටුම්, ද සවුන්ඩ් ඔෆ් මියුසික්, මලයාලම්-දෙමළ චිත්‍රපටි එක්කයි මම ලොකු වුණේ. අම්මගෙ ඉස්කෝලෙ දියුණු වෙද්දි මට හොඳට ඉංග්‍රීසි උගන්නන්න එයාට ඕන වුණා. ඒත් මම හොරෙන් මලයාලම් කතා කළා. අවුරුදු 10 දි අම්මා මාව තමිල්නාඩුවේ නේවාසිකාගාරෙකට යැව්වා. මම එහේදි මලයාලම්, ඉංග්‍රීසිවලට අමතරව හින්දිත් ඉගෙන ගත්තා. අපිට හින්දි ඉගැන්නුවේ මලයාලම් ගුරුවරයෙක්. අපිට ඉගෙනගන්න සිද්ධ වුණෙත් මලයාලම් ඌරුවේ හින්දියක්. අපිට එයා උගන්නන මෙලෝ දෙයක් තේරුණේ නෑ. අවුරුදු 16 දී මම ඒ ඉස්කෝලෙන් අයින් වෙලා කෝච්චියක නැඟලා තනියෙම දිල්ලියට ගියා. කෝච්චි ගමනට දවස් තුනක් සහ රෑ තුනක් ගත වුණා. මම ගියේ ගෘහ නිර්මාණ ශිල්පිණියක් වෙන්න ඉගෙනගන්න හිතාගෙන. මම දැනගෙන හිටියේ මලයාලම් ගුරුවරයා උගන්නපු මලයාලම් ඌරුවේ හින්දි වාක්‍යයක් විතරයි. ඒකත් මහා විකාර වාක්‍යයක්. සරල තේරුම වුණේ ‘මම උදේ නැගිටිනකොට බැල්ල මැරිලා හිටියා’ කියන එකයි. මුල් කාලෙ මගෙත් එක්ක හින්දියෙන් කතා කරපු ඕන කෙනෙකුට මම ඔය වාක්‍යයෙන් සැලකුවා. පස්සෙ හොඳට හින්දි ඉගෙන ගත්තා.

arundhati-roy

ගෘහ නිර්මාණ ශිල්පය ඉගෙන ගත්ත පංතියේ බෙංගාලය, ඇසෑමය, මනිපුරි, නේපාලය, සිකිම්, ගෝවා, ඇෆ්ගනිස්ථානයෙන් ආපු ළමයි හිටියා. මගේ පළවෙනි කාමර සහායිකාව ඇවිත් හිටියේ කාශ්මීරෙන්. දෙවැනි එක්කෙනා නේපාලෙන්. මගේ ළඟම යාළුවා ඔරිස්සාවෙන් ආපු කෙනෙක්. එයා හින්දි-ඉංග්‍රීසි මොකුත් කතා කරන්න දැනගෙන හිටියෙ නෑ. පළවෙනි අවුරුද්ද පුරා අපි කතා කළේ කා‍ටුන්, චිත්‍ර, සිතියම්වලින්. ඊට පස්සේ ඉංග්‍රීසි-හින්දි මිශ්‍ර කරපු භාෂාවකින් කතා කරන්න පුරුදු වුණා. මම හදපු පළවෙනි චිත්‍රපටියේ පාවිච්චි කළෙත් ඒ කලවම් භාෂාව. චිත්‍රපටි තිරනාටක ලියන එකෙන් මම හරියට දෙබස් ලියන්න ඉගෙන ගත්තා. ඒ වෙනකොට මගේ පුංචි කාලෙ ගැන, අයෙමෙනෙම් ගම ගැන, ගඟට නැමුණු ගහ ගැන ලියන්න ලොකු වුවමණාවකින් හිටියේ. චිත්‍රපටි රාමුවකට අහු නොවෙන පොතක් ලියන්නයි මට ඕන වෙලා තිබ්බේ. අන්තිමට The God Of Small Things විදිහට මුද්‍රණය වුණේ මෙන්න මේ පොත. මම පොත ලිව්වෙ ඉංග්‍රීසියෙන්. හිතුවෙ ඉංග්‍රීසියෙන් වගේම මලයාලම්වලින්. කතාව කියන්නේ අවුරුදු හතක් වයස නිවුන්නු දෙන්නෙක්. මුළු කතාවම ගෙතුණේ කුඩා ළමයි වගේම වැඩිහිටි මිනිස්සු වටේට.
කිසිම වෙලාවක අපිට භාෂාව තෑගි කරන්න බෑ. භාෂාව අපිම උපද්දවා ගන්න ඕනා. The God Of Small Things ලියලා ඉවර කළාට පස්සේ මට දැනුණා ලේ ගමනාගමනය හරිම නිදහසේ වෙනවා කියලා. ඒක විශ්වාස කරන්න බැරි විදිහෙ නිදහස්වීමක්. කතාව කියන්න ඕන විදිහෙ භාෂාවක් පාවිච්චියට ලැබුණ එකෙන් මම ලොකු සතුටකින් හිටියේ. ඒත් ඒ සතුට තිබ්බෙ අවුරුද්දක් වගේ විතරයි. 1998 දී හින්දු දේශාභිමානීන් ආණ්ඩු බලයට ආවා. ආපු ගමන් ඒ අය කරපු පළවෙනි දේ න්‍යෂ්ටික අවි පරීක්ෂණ කරපු එක. ඔක්කොම කනපිට හැරවුණා. ප්‍රසිද්ධියේ නොකියන්න ඕන දේවල් කියවෙන්න පටන් ගත්තා. ‘පරිකල්පනයේ අවසානය’ මාතෘකාවෙන් මම පළවෙනි දේශපාලනික ලිපිය ලිව්වා. එතකොට මගේ භාෂාවත් ඉබේම වෙනස් වෙලා. හෙමින්, සැලකිල්ලෙන් නවකතා ලියන භාෂාවෙන් නෙවෙයි ඒ ලිපිය ලියන්න සිද්ධ වුණේ. ඉතාම හදිස්සියේ. ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. විශේෂයෙන්ම මගේ ලිවීම. ඊටත් පස්සේ නවකතාවලට අමතරව සෑහෙන්න පත්තරවලට ලිපි ලිව්වා.

utmost-happiness5

මගේ ලිවීම ගැන කිව්වොත් පොත් දෙකටම එක විදිහට බලපාපු ක්‍රියාවලියක් තියෙනවා. කතාවෙ ආකෘතිය ගැන හිතන්න ගන්න කලින් දුමාරයක් ඇති කරවනවා වගේ දෙයක් මගේ මනසෙන් සිද්ධ වෙනවා. ඊට පස්සෙයි ලියන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය ‍තෝර ගන්නේ. මොන ආකෘතිය ඇතුළෙද වැඩ කරන්නෙ කියන තීරණේට එන්නෙ ඊට පස්සේ. මගේ ලිවීමේ මුල් අවධිය ගෙවෙන්නෙ එහෙමයි. සමහර වෙලාවට දේවල් පේන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට The God Of Small Things පටන් ගත්තේ නිවුන්නු දෙන්නව චිත්‍රයක් වගේ පෙනුණ එකෙන්. The Ministry of Utmost Happiness ගැන මුලින්ම හිතේ ඇඳුණ චිත්‍රයෙ තිබ්බෙ ජන්තර් මන්තර්වල උද්ඝෝෂණයක් අතරේ පදික වේදිකාවෙ බිළි‍ඳෙක්ව තියලා යාමක්. ඊට පස්සේ එක දර්ශනයක් පිටිපස්සේ ඉතිරි ඔක්කොම ගලාගෙන ආවා. සරලවම කිව්වොත් The God Of Small Things කියන්නේ ගොඩනැගිල්ලක්. The Ministry of Utmost Happiness කියන්නේ නගරයක්. හැබැයි භාෂාව, හරිම පෞද්ගලික දෙයක් වෙන්න ඕන වුණාට අතිශය පොදු වෙලා.
ගෘහ නිර්මාණ ශිල්පය ඉගෙන ගෙන ඒක ජීවිකාව විදිහට කරගෙන ගියානම් මට කරන්න වෙන්නෙ පෝසත් මිනිස්සුන්ට ලස්සන ගෙවල්වල සැලසුම් අඳින්න. මට එහෙම කෙනෙක් වෙන්න ඕන වුණේ නෑ.
නිකමට හිතන්න, පරිකල්පනය නතර වෙන්නෙ කොහෙන්ද? අත්දැකීම් පටන් ගන්නෙ කොහෙන්ද? එතකොට මතකයන්වලට මොකද වෙන්නෙ? මට හිතෙන්නෙ මේ ඔක්කොම එකම සුප් එකක් කියලයි. The God Of Small Things පොතේ තැනක එස්තාපන් කියනවා ‘ඔයා හීනෙන් මාළුවෙක්ව කෑවා කියන්නෙ ඇත්තටම මාළුවෙක්ව කෑවා කියන එකද?, ඔයා සතුටින් ඉන්නවා හීනෙන් දැක්කා කියා ඔයා සතුටින් කියන එකද?’ The Ministry of Utmost Happiness කියන්නෙ හංගපු අර්ථ තියෙන දේශපාලන මැසිවිල්ලක් නෙවෙයි; නවකතාවක්. නවකතාවලදී යම් සැකැස්මක් යටතේ හැමදෙයක්ම ශරීරාංගයක් වගේ ඔබේ ඇතුළේ වැඩෙනවා. අන්තිමට හමෙන් ගලන දහදියක් වගේ එළියට ගලාගෙන යනවා. ප්‍රබන්ධයක් එක්ක වැඩ කරන්න ගත්තම මම ඒකත් එක්ක හරි පහසු සම්බන්ධයක් හදා ගන්නවා. ඊට පස්සෙ කිසි හදිස්සියක් නෑ. මම ලියන ප්‍රබන්ධෙ මගෙත් එක්ක ජීවත් වෙනවද, නැද්ද කියලා දැනගන්නත් පොඩි වුවමණාවක් තියෙනවා. හදිසියෙවත් කතාව ලියාගෙන යද්දි මට එපා වුණොත්, පාඨකයන්ටත් එපා වෙනවා සහතිකයි. මම ලියන පොතත් එක්කත් මිනිස්සු කණ්ඩායමක් එක්ක තියෙන සම්බන්ධය වගේ එකක් තියෙන්න ඕනා. අපි ඔක්කොම එකට ජීවත් වෙන්නත් ඕනා.
සාමාන්‍යයෙන් ලිවීමේදී මට විශේෂ පුරුදු නැහැ. දිග වෙලාවක් එක දිගට ලියන්නත් බැහැ. මම ලියන්නෙ දවසකට පැය කීපයක් විතරයි. The Ministry of Utmost Happiness ලියද්දි පියවර දෙකකට බෙදාගත්තා. පළවෙනියට කතාවේ මූලික සැකැස්ම තීරණය කළා. ඊට පස්සේ මූර්තියක් නෙළනවා වගේ ඒක වර්ධනය කළා. මූලිකවම කතාවට තිබ්බෙ දුමාරයක් විතරයි. ලිවීම, නැවත් ලිවීම අතරේ අලුත් වාක්‍ය තුනක් ලියලා මම නිදාවැටෙනවා. ඒත් සම්පූර්ණ කතාව මටම පැහැදිලි වුණාට පස්සේ දිග වෙලාවක් ලියන්න පුරුදු වුණා. The God Of Small Things ලියද්දිත් මේකම වුණා. එක වාක්‍යයකින් මාව නින්දට ඇදලා දැම්මා.
ගෘහ නිර්මාණ ශිල්පිණියක් වීමම තමයි මගේ ලිවීමේ රහස වුණේ. මම ලියන විදිහ හැදුණේ මගේ වෘත්තියෙන්. එහෙම හිතන්න ගත්තම කතාවක් කියන්නෙ නගරෙක සිතියමක් වගෙයි; ගොඩනැගිල්ලක සිතියමක් වගෙයි. ඇතුළු වෙන විදිහ, පිටවෙන විදිහ වගේම ඒ ගැන කියන විදිහ ලේසි නෑ. හැබැයි මගේ ලිවීම ඇතුළේ කිසිම ඇල්ගොරිදම් එකක් නෑ. මට තියෙන්නෙ ඉබේම හටගත්ත රිද්මයක්.
‘ඔයා ලියන්න ගත්තට පස්සේ…’ වගේ දේවල් මගෙන් ඇහුවම මට ඒ ප්‍රශ්නෙ තේරුම් ගන්න බැරිව යනවා. මම නොලියා ඉන්නෙ කොයි වෙලාවටද කියලා මගේ හිතෙන්ම අහලා පුදුම වෙනවා. මම හැම වෙලාවකම මනස ඇතුළෙන් ලියමින් ඉන්නේ. හැබැයි The Ministry of Utmost Happiness ලියලා ඉවර කළාට පස්සේ මගේ බරෙන් බාගයක් අඩු වුණා වගෙයි මට දැනුණේ. මොකද පහුගිය අවුරුදු 10 ඇතුළේ මේ කතාව තිබ්බේ මගේ ඔළුව ඇතුළෙ. ඒත් දැන් ඒක මගෙත් එක්ක ඉන්නවා. හැබැයි, ඔළුව උඩ බරක් වෙලා නෙවෙයි.
මේ පොත ලියද්දි මගේ ඔළුවෙ සරල දෙයක් වැඩ කළේ නෑ. මම හිටියේ ඉතාම බැරෑරුම් තැනක. හිජ්රාවන්ව සමාජයෙන් කොන්කරලා තියෙන්නේ. ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ප්‍රචණ්ඩත්වය හරිම කෲරයි. සමහර අවස්ථාවල ඔවුන්ව සමාජය පිළිඅරගෙන තියෙනවා. ඒත් සමස්තය ඇතුළේ තියෙන ප්‍රශ්නෙ ඊට වඩා විසාලයි. මෑතක් වෙනකන් ඉන්දියාවෙ සමකාමී බව දඩුවමට යටත් වෙන දෙයක්. නමුත් දැන් ඒ අය තෙවැනි ලිංගිකයන් විදිහට පිළිගන්නවා. The Ministry of Utmost Happinessපොතේ ප්‍රධාන චරිතය, ‘අන්ජුම්’ හිජ්රාවක්. කුඩා කාලෙම ගෙදරින් පිට කරපු ‘අන්ජුම්’ හැදෙන්නෙ-වැඩෙන්නේ හිජ්රාවන් එක්ක පැ‍රැණි දිල්ලියෙ. අන්ජුම් ගුජරාටයේදී සමූලඝාතනයකට මැදි වෙනවා. මේ ව්‍යසනයෙනුත් ගැලවිලා එන අන්ජුම් සොහොනක නවාතැන් ගන්නවා. අන්තිමට අමුත්තන්ට නවාතැන් දෙන තැනක් විදිහට මේ සොහොන පෙරලෙනවා. සක්‍රාන්ති ලිංගිකයන්, කුලහීනයන්, මුස්ලිම් ආගම වැලඳගත්ත අය වගේම අතෑරලා දාපු බිළිඳු ළමයි පවා මේ සොහොන් නවාතැනේ ඉන්නවා.

 alekya tag

බය තියාගෙන ලියන්න බෑ. ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන දේ ලියද්දි ඒ ශානර දෙකේ තානය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනා. ප්‍රබන්ධය නර්තනයක්. ප්‍රබන්ධ නොවෙන දේ ඇවිදීමක්. හොඳම පොත ලියන්න උත්සාහ කිරීමත් මුළාවක්. සම්මාන, ප්‍රශංසා අයිති පාඨකයන්ට මිස ලේඛකයට නෙවෙයි. වැදගත්ම දේ ලියන දේට ජීවය ලැබෙන එක දකින්න ලැබෙන එකයි. ආත්මාර්ථකාමී ලේඛකයන් ඔබට ඉතිරි කරන්නෙ දීප්තියක් විතරයි. නිර්ලෝභී ලේඛකයෝ ඔවුන්ව ප්‍රබෝධයට පත් කරපු ලෝකයම ඔබට ඉතිරි කරනවා. හොඳ කතාවක් ඇතුළේ රහස් නෑ. මම The God Of Small Things ලිව්වෙ හත් දෙනෙක් විතර කියවාවි කියලා හිතලා. ඊළඟ පොත ලියද්දිත් ලොකු බලාපොරොත්තු තිබ්බෙ නෑ. The Ministry of Utmost Happiness නිකුත් කරලා කෙටි කාලෙකින්ම භාෂා 46 ට පරිවර්තනය වුණා. ඒ මදිවට පොත හොරටත් ප්‍රින්ට් කරලා ට්‍රැ‍ෆික් ලයිට්වලට වාහන නතර කරන් ඉන්නකොට පොතේ ගාණෙන් බාගෙකට මටම විකුණන්න උත්සාහ කරලත් තියෙනවා. මේ හැම දෙයක්ම සතුටින් බාරගන්න විදිහ දැන් මම දන්නවා.
කාංචනා අමිලානි | @moogater
පුවත්පත් සබැඳිය : දිනමිණ ලිවිසැරිය
ආශ්‍රිත කියැවීම් :
https://bit.ly/2UGs7p2
https://bit.ly/2TNdd44
https://bit.ly/2FfkD5V
https://bit.ly/2r8o1tU
https://bit.ly/2ThbzlU
https://bit.ly/2mHJoyM
https://bit.ly/2JVjYI2
https://bit.ly/2Jk0WPL
https://bit.ly/2HsTH6q

 

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ආලේඛ්‍ය | 05"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com