රැලි කැරකෙන රළු මුහුදක

1fa1ad8e33d555774f1a8e5e0a91ab44

දවස් ගණන්
පාවි පාවී
මුදු බද වට-හද තෙත නැති
රැලි කැරකෙන රළු මුහුදක
තල්ලු කර දමන්න
මේ සිදුරු වූ ඔරුවෙන් මාව

'ඔබ බේරී යන්නැයි'
මම කරත්තයෙන් නොබසින
එපා යැයි කියා
සම්, මස් ඉරා, පිටුවහල් කළ යුතුය
මම; අන්න එහෙම

මුල් කාලය
ඒ ඉතා දුෂ්කර පුහුණු සමය
නුපුහුණු ප්‍රේමකාරක
සියොළඟ ගැල්විය යුතු
දැල්විය යුතු
සියලු සුගන්ධම දැනවිය යුතු

දැන්; වඩා පුහුණුව
කටින් පිඹ පහන නිවා දැමිය යුතු
නැත්නම් ළඟ ළඟක
ගල, ගලා පවතින තැනකට විසිකළ යුතු

ප්‍රේමයේ පුහුණු ශ්‍රමය
පතුලකම ගිල්වන අයුරු

මේ මගේ විදිහ
කරත්තයෙන් නොබසින
පිටුවහල් කරන තෙක් බලා සිටින

කාංචනා අමිලානි•ජූනි 18

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

මට සමාවෙන්න;

7620d055891b43ee005337daffcaa75e

මට සමාවෙන්න;
මී අඹ ගසක
ඇඹුල් රස ඇතිව හට ගත්තාට

පැහැය ද; පෙනුම ද;
රවටන සුළු වූවාට
ඇසු ඇසූ දන
රස දනිතැයි සිතූ දන
කියූ කියූ කතාවක
'කොහොම ඇඹුල වෙන්නද
ඒ මී අඹ ගස'

මට සමාවෙන්න;
ඇඹුල වෙතැයි සැක කර
පොහොර ද; වතුර ද
වැඩි වැඩියෙන් දමන්නට බල කළාට

වතුරෙන්, පොහොරෙන්
මීරි මී රස ගනු නොහැකි විට
ඉදෙන්නටම ඉඩ දී
රස බලන්නට තීරණය කළ ද
මුල සිටම දැන සිටිමි
ඒ මී අඹ ගසේ
එකම ගෙඩියක් ඇඹුල වෙන බව

මට සමාවෙන්න
මීරි මී රස නොවුණාට

කාංචනා අමිලානි• ජූනි 17•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

අන්ධයි•ආලය•

1467343_531050943653447_871623839_n
කාටවත් බෑ කාවවත් හොරකම් කරන්න. මොකද 'කාවවත්' කාටවත් නොපෙනී අරගෙන යන්න බෑ. අපි කාවහරි හොරකම් කරගන්න හදනකොටම මුළු ලෝකෙටම ඒක පේන්න ගන්නවා. ඒක වෙන්නෙ මෙහෙමයි. සරලයි, හැබැයි පැටලිලි සහගතයි.
මනුස්ස ශරීරයක් හොරකම් කිරීම බරපතල වුණාට හොරකම සිද්ධ වෙන්නේ ශරීරාංගය බැගින් නිසා වැඩේ ඒ තරම් බරපතල නෑ.
දැන් බලන්න මුලින්ම ඇස් දෙක. කවුරු හරි හොරකම් කරගෙන ගියාද කියලවත් කවදාවත් හිතන්න බැහැනේ. අරගෙන ගියාට පස්සෙත් හිතෙන්නෙ 'නෑ. මේ තියෙන්නෙ යසට මගේ ළඟ' කියලනේ. ඒක තමයි මැජික් එක. හොරකම් කරගෙන ගිහින්ද කියලවත් නොදන්න එක.
එතකොට කම්මුල්, ඇහි බැම, උරහිස, වැලමිට, ඇඟිලි වුණත් එහෙමයි. ඒවත් හොරකම් කරගෙන ගිහිල්ලද කියලා දන්නෙවත් නැති ශරීරාංග. කවුරු කොහොම කිව්වත් හිතෙන්නෙ 'මේ තියෙන්නෙ ඉතිං මං ළඟම' කියලයි.
හැබැයි යථා සිහියෙන් හිටියොත් යම්, යම් ඉඟිවලින් 'සොර සිතක්' තියෙන බව කලින්ම අල්ල ගන්න පුළුවන්. 'ආලය අන්ධයි' කියන්නෙ වෙන කතන්දරයක්. ඒක මේක එක්ක පටල ගන්න නරකයි.
මෙන්න මේවා තමයි කලින් ලැබෙන ඉඟි.
'ඔයාගෙ ඔය මුව පැටියෙකුගෙ වගේ ඇස් දෙක මට දෙන්නකෝ තියාගන්නම'
'මට මේ රෝස කම්මුල් දෙන්න බැරිද?'
'අනේ මට මේ උරහිස දෙන්න'
'කාගෙද මේ චූටි ඇගිලි ටික?'
මේවට ලැබෙන උත්තර අනුව තමයි ඔක්කොම තීරණය වෙන්නේ.
ශරීරාංග ඉල්ලනකොට 'ගන්න අනේ' කියනවා. කාගෙද මේ චූටි ඇගිලි ඇහුවම 'ඔයාගෙනෙ' කියනවා. ඊට පස්සෙ හොරකම් කළා කියලා අඬනවා.
නැද්ද ඉතිං?
කාංචනා අමිලානි• ජූනි 12•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

උපන් ලප 12•

440a4d6fe5b77bc976ad925f63579dab
මං හිටියේ සිවිලිම උඩ. ඒ වෙනකන් අවුරුදු 6-7ක්ම වගේ කොස් ඇට එකතු කරපු එකයි කළේ. මගේ ළඟ කොස් ඇට බරණි 15ක් විතර තිබ්බා. ඒකෙනුත් බරණි 8ක් විතර අටු කොස් දාලයි තිබ්බේ. ව්‍යාපාරිකයෙක් වෙන්න මට කවදාවත් ඕනෙකමක් තිබ්බෙ නෑ. ඒත් සිවිලිමයි, කොස් ඇටයි නිසා නිකංම මං ව්‍යාපාරිකයෙක් වුණා. මුලින්ම කොස් ඇට එකතු කරන්න ගත්තේ නිකං විනෝදෙට වගේ. ඊට පස්සෙ අල්ලපු සිවිලිමේ ජීවත් වෙන මී පවුලෙ සුබ්‍රමනියම් ආවා මෙහෙම එකක් අහගෙන.
'ශ්‍රීවස්ති අයියේ!! කොස් ඇට එහෙම නැතෙයි විකුණන්න?'
මට ඒකට ඕන නම් 'නෑහ්!!' කියලා දාන්න තිබ්බා. ඒත් මං කිව්වේ
'හා...ඕන හැටියේ තියෙනවා මල්ලියේ. ඔහේට කොච්චරක් විතර ඕනෙයි? මං හෙට දෙන්නම්' කියලයි.
සුබ්‍රමනියම් මල්ලි හරී සන්තෝස වෙච්ච බව එයාගෙ ළපටි මූණෙන්ම පෙනුණා. රවුල් අඩු මූණෙ කිරි සුදට දිලිහෙමින් තිබ්බ දත්; කොස් ඇට හපන්න පොපියමින් තිබ්බේ.
සුබ්‍රමනියම් කාරයට කොහොමත් කොස් ඇට 25ක් වගේ පළවෙනි පාර දුන්නා නම් ඇතිනේ. අනික හෙට වෙනකන් කල් තියෙනවත් නේ. මං ඉතිං සිවිලිමේ කෙලවරේ ත්‍රිකෝණයක් වගේ කැඩිලා තිබ්බ හිඩැසින් පහළ කාමරේ දිහා බලං සිවිලින් ෂීට් එකක් උඩ ඇලවෙලා හිටියා.
ඒ කාමරේ මහ මනස්ගාතයක් කියලමයි මට හිතුණේ. තඩි පොත් රාක්ක දෙකක් එක ළඟ තියලා නිකං නිවුන්නු වගේ. පේලි දෙකකට ඒකෙ පොත් ඔබලා. අස්ගිරිය අන්තයේ එක පොත් සෙට් එකක්. අනිත් ටික මළත් හොයන්න බැරි විදිහට නොපිට පෙරලලා.
ඊළඟට පොඩි ප්ලාස්ටික් රාක්කයක් ඇද ළඟම. ඒකෙ උඩ තට්ටුවේ එම්බාර්ක් හෑන්ඩ් බෑන්ඩ් එකකුයි, හම් බෑන්ඩ් එකකුයි; ඒකෙ යකඩ රවුම් මළකඩ කාලත් එක්ක. ඊළඟ තට්ටුවේ බොත්තම්,ක්ලිප්, හැට්ට කටු, ඇල්පෙනිති වගේ දාපු වේලිච්ච නික ගෙඩියක පළුවක්.
යටම තට්ටුවේ ඩයලොග් බිල් තොගයක්. සමහර ඒවා ඇරලා බලලත් නෑ. ඊට වමෙන් සාගරයක් වගේ ඇදක්. ඒකට දාන බෙඩ් ෂීට් එකම විදිහයි. මල් තියෙන එව්වා. පුදුම මල් පිස්සුවක් තමයි ඉතිං.
නිවුන් පොත් රාක්ක දෙකට එහායින් ටවල් රැක් එකක්. ඒකෙ ඩෙනිම් කලිසම් දෙකක් දෙකට නවලා දාලා. උඩම පටියේ කහ පාට තුවායක් දිග අතට අතුරලා.
පහළම තියෙන ලෑල්ල උඩ පරණ කැන්වස් සපත්තු දෙකක්. ඒක සම්මජ්ජාතියකට දාපු පාටක් නැති එකක්.
එයා නිතර ෆෑන් එක දාන්නෙ නෑ. ඒත් දාඩියයි කිය,කියා ගෙදර අනිත් අයට කියනවා ඇහෙනවා. එයා ඉස්සර නිතර පොත් කියෙව්වා. දැන් පොත් කියවන පාටක් නම් නෑ. ෆෝන් එක දිහා බලාගෙන හිනාවෙන එක තමයි පස්සෙන් පහු කරන්න ගත්තේ. මයෙ හිතේ ෆෝන් එක ඇතුළේ මං සයිස් කවුරු හරි ඇති. ඒ එක්කෙනා ඉළ ඇදෙන කතා කියනවා ඇති.
ඒකට මම. මෙහේ සිවිලිමක් උඩ තට්ට තනියම. කොස් ඇට එකතු කර කර. චික් විතරක්!!!
'ශ්‍රීවස්ති අයියේ!! ශ්‍රීවස්ති අයියේ!! කොස් ඇට තියෙනවද?'
මං සිවිලිමේ නළඟනක් වගේ ඇලවිලා ඉන්න අව් අස්සෙම බැලුවා කවුද කියලා. ඒ පාර සුදු කැහැටු පූස් පැටියෙක්.
'තියෙනවා. ඒත් තමුසෙ පොඩි වැඩියි කොස් ඇට විකුණන්න. එක්කගෙන එනවා වැඩිහිටියෙක්.'
පූස් කොල්ල ඉද්ද ගැහුවා හේ නතර වෙලා බලං ඉදලා යන්න ගියා.
'ලැජ්ජා නැතිකම. වෙන මොකක්ද?  පූස් පැටව් මීයො ළඟට එවනෙක වෙන මොකක්ද ඉතිං. අපි ලැජ්ජා බයට හැදිලා තියෙන නිසා හොඳයි.
'ශ්‍රීවස්ති අයියේ!! ශ්‍රීවස්ති අයියේ!! බීඩි තියේද?'
ඒ පාර කිළිටි රෙද්දක් ඉණ මත්තට ඇද ගත්ත මී ගෑනියෙක්.
'ඈ බොල බොණ්ඩියේ තෝ හිතුවද මේක පෙට්ටි කඩයක් කියලා. අරක,මේක තියෙනවද අහන්නේ? මං බීඩි විකුණන්නෙත් නෑ වෙන මොනවත් විකුණන්නෙත් නෑ'
මී ගෑනි රෙද්ද කඩලා ආයෙ ඇද ගත්තා. මී කන් දෙක දෙපාරකට හෙල්ලුවා. ඉණට අත් දෙක ගහගෙන කතාව පටන් ගත්තා.
'අනේ බොල ශ්‍රීවස්තියෝ!! තොටත් ගිය කලක්. සිවිලිම් උඩ උදන් පහළ ගෙදර ඉන්න ගෑනු නාන ඒව බලන් ඉන්න වනචරයා උඹ. ඒ වුණාට බීඩි විකුණනවද ඇහුවම ඩෝං යනවා. අනේ පලයං මිනිහෝ යන්න. උඹ ගංජත් විකුණන බව මුළු ගමම දන්නවා. නිකං බබා වෙන්න එන්නෙපා. බීඩි නැත්නම් නෑ ය කියහං. අපිට මෙතන විශේෂණ පදවලින් කතා කරන්න එන්නෙපා. තෝව මං දෙකට කඩනවා බෝංචි කරල් හේ.
වනචරයා!!!'
ශ්‍රීවස්තියාගෙ රෙදි ගලෝලා මී ගෑනි යන්න ගියා. ශ්‍රීවස්තියා සිවිලිම පුරා තුහ්!!තුහ්!! ගහා කෙළ ගහහා ඇවිදිනවා.
'මේ ගේ වයරින් කරපු බැල්ලිගෙ පුතා මොකාද දන්නෑ හැබෑට. හැම රෙද්ද අස්සෙම බට ගහලා. ඒවා අස්සෙන් වයර් එළියට පැනලා. ස්විච් දාද්දි මෙහේ ෂෝට් වෙනවා.'
ශ්‍රීවස්ති, ඒ පාර ගේ වයරින් කරපු කෙනාට බණිනවා. ටික වෙලාවක් ගිහිනුත් 'පුටු පුටු' ගගා හිටපු මී චණ්ඩියා ආයෙත් සන්සුන් වෙලා සිවිලිමේ ෂීට් එකක් උඩ ඇලවුණා.
'හ්ම්!!! මේ මරාල නිසා කර කර හිටපු වැඩෙත් අමතක වුණා'
ටවල් රැක් එකට එහා පැත්තෙන් තියෙන්නෙ දම්රෝ අල්මාරිය. ඒක කොයි වෙලෙත් බාගෙට ඇරිලා. ඊට එහා පැත්තෙ ජනේලෙට සමාන්තරව තවත් ප්ලාස්ටික් රැක් එකක්. ඒකෙ පත්තර කොළ එලෝ කෝටියයි. මදි පාඩුවට පරණ නෝට් බුක්, කොළ පුරවපු ෆයිල්, රැපින් පේපර්ස්, පේ ෂීට් පුරවපු ෆයිල් ආදී මෙකී, නොකී සියලුම දේවල් ඒකෙ තියෙනවා. ඊළඟට දොරක් නැති උළුවස්ස. ඒකට එහා පැත්තෙ රතු පාට කිළිටි කූඩයක්. කොයි වේලෙත් ඒකෙ අල්මාරිය ඇතුළෙ තියෙන රෙදි කන්දරාවට නොපරදින තරමේ කිළිටි රෙදි.
එයාගෙන් කවුරු ඇහුවත් එයා කියන්නෙ මෙහෙම.
'ඕක ඔහොම තමයි බැලන්ස් වෙන්නේ. ඔක්කොම රෙදි හෝදලා දාන්න අල්මාරියෙ ඉඩ නෑ.'
කිළිටි කූඩෙයි, ඇදේ අනිත් කෙලවරයි අතරෙ බිම පරණ එච්.පී.ප්‍රින්ටරයක්. ඒකෙ දූවිලි යම්තාක් දුරකට තියෙනවා.
දැන් මේකයි. අර වලත්ත මී බොණ්ඩි කියපු, ගෑනු නාන ඒවා බලන කතාව සම්පූර්ණයෙන්ම ටොම් පච. මම කවදාවත් ගෑනු නාන ඒවා බලන් ඉදලා නෑ. මොකද එයාලගෙ ගෙදර නාන කාමරේ සිවිලිමේ කිසිම සිදුරක් නෑ.
හැබැයි එයාලා ඇඳුම් මාරු කරනවා නම් මම බලං ඉදලා තියෙනවා. බලං ඉන්නවත් නෙවෙයි එක අතකට. ඔහේ නිකංම පේනවා.
ඇඳුම් මාරු කරන එක නිකං පෙනුනම මීයෙකුට 'වනචරයා' කියනවද? මං කවදාවත් වනචරකමක් කරලා තියෙනවද? අනික මං කවදද ගංජ වික්කේ?
ශ්‍රීවස්ති,මීයෙක් හැටියට කදිම ඇග පතක් තියෙන එකෙක්. සමාන්තරව දෙපැත්තට කැරකුණු රැවුල නිසා හැන්ඩ්සම් මීයෙක් කියලා කියන්නත් පුළුවන්. අම්මා,තාත්තා ගැන මතකයක් එයාට නැත්තෙ කපටිකමට කියලයි දන්න,නොදන්න හැමෝම වගේ කියන්නේ.
'මං හැදුණෙ තනියෙම'
එහෙමයි නැට්ට එහෙම උඩට උස්සලා අහන කාටත් එයා කියන්නෙ. ඒත් ශ්‍රීවස්තිගෙ ජීවිතේ නොකියන කතාවක් ඇති කියලා එහා ගෙදර යට ලීය උඩ ඉන්න ලේන පවුල නිතර කතා වෙනවා. ලේන පවුලෙ අම්මා ලේනි, ඕපදූප හොයන්න මනාපයි. අනුන්ගෙ දුක් තමන්ගෙ කරං නිකං බොරු රඟපෑම් කරන්නත් ලාවට වගේ ආසයි. ශ්‍රීවස්ති ඒක දන්නවා. ඒත් නොදන්නවා වගේ ඉන්නවා.
'ලේන්නු එක්ක මගේ ආස්සරයක් නෑනෙ. උං මහ උද්දච්ච හැතිකරයක්. අර කවුද ගෑනු ලේනෙක් නැට්ටෙන් මුහුද ඉහින්න ගියා කියන කතාව නිසා ලොකුවට හිතංනෙ උං ඉන්නේ. උංගෙ නම් පොත්වල හිටං තියෙනවා කියලා හිතං ඉන්නේ. මොන බොරුද? ඔය තකතීරුකම් කවුද පොත්වල ලියන්නේ'
ඔන්න ඔහොමයි ශ්‍රීවස්ති ලේන්නුන්ගේ පැටිකිරිය දිගාරින්නේ.
                                         -----------------------------------------------------------------
'බුදු සන්තෝ!! වහල කඩං වැටුණෝ!! මං ඉවරෝ!! මාව බේර ගනියෝ!!! අම්මේහ්!!! අයියෝ අම්මේහ්!!!'
පාන්දර දෙකට වහල කඩං වැටෙන එක මහ අපරාධයක් වෙන්ඩෝනා. මං කෝකටත් අඳුරේ අතපත ගාගෙන ගිහිං බිත්තියේ තිබ්බ ස්විච් එක දැම්මා. සිවිලිමේ පැත්තක් කඩං වැටිලා තමයි. කාමරේ එක මුල්ලක පොඩි කිඹුලෙක් සයිස් කළවැද්දෙක් විරවගෙන ඉන්නවා. පොත් රාක්කෙ උඩ ඉතාම අපිරිසිදු බළල් තඩියෙක් ඇස් දොඹ ගෙඩි කරන් බලන් ඉන්නවා. ඇඳ උඩ බටු මීයෙක් රවුමක් හැදිලා ඉන්නවා. ජනෙල් රෙද්දෙ අලි තඩි මීයෙක් එල්ලිලා මට මොනවද කියන්න හදනවා. ඒත් උගේ කටින් වචන පනින්නෙ නෑ. කළවැද්දත් අත් උස්සගෙන. ඉස්කෝලෙ සරඹ කරනවා වගේ. අපිරිසිදු පූස් තඩියා අමාරුවෙන් මගේ දිහා බලලා සිවිලිමට අත දික් කරලා 'ඥාව්' කිව්වා.
'ඇති යන්තම්. මුං කතා කරන්න පුළුවන් එවුන් නෙවෙයි. මං පණ බයේ හිටියේ මුං ඔක්කොටම කතා කරන්න පුළුවන් ඇතිය කියලා.'
මං අච්චර කෑ ගහලත් ගෙදර එකෙක් 'හූම්' නෑ. ඒ කියන්නෙ මට යකා ගැහුවත් ගෙදර අය ඇහැරෙන්නෙ නෑ කියනෙක. අනික වහලා කඩං වැටෙනවා කියන්නෙ සුළුපාසු දෙයක්ද? අනේ දෙයියනේ මුළු ගෙයිම වහල එකපාර කඩං වැටෙන්න තිබ්බෙ. එහෙම වුණා නම්.
මිගාර සිටුතුමා ඒවි මෙහෙම අහගෙන,
'මේහ්!!! මොකක් හරි කඩං වැටුණද? කාට හරි තුවාලද? මං ආයෙ නිදාගන්න යන්නද?'
සිටුතුමාගෙ මවු බිසව ආතබූත නැතිව නිදං ඉන්න කොට්ටෙ එක අතකිනුයි, පෙරවන රෙද්ද අනිත් අතිනුයි අරගෙන ඇවිත් මෙහෙම කියාවි.
'මං හිතුවා ඔය ටික වෙයි කියලා. කෝ කට කැඩෙනකන් කිව්වත් එකෙක් නෑනෙ මේ ගෙදර ඔය රවුටරේ ඕෆ් කරන්න. හෙණ වැදිලා බේරුණා මැදැයි. මේ නාකි මාවයි තව ටිකෙන් ඕකට අහු වෙන්නේ. ඇයි මමනෙ සාලෙ නිදා ගන්නේ.
හොඳ වෙලාවට ඊයෙ මං නරක හීනයක් දැකලා අද පරිස්සම් වෙන්න ඕනා කියලා පිටිපස්සෙ කාමරෙන් නිදා ගත්තා.
කෝ මං භයානක හීනයක් දැක්කා කිව්වත් ගාණකට ගන්න ළමයිද මට ඉන්නේ. යස්සයෝ දෙන්නෙක්, යස්සයො දෙන්නෙක්නෙ මට ඉන්නේ.'
නෑ අම්මේ නෑ. රවුටර් එක නෙවෙයි. මගේ කාමරේ සිවිලිමෙන් බාගයක් කඩං වැටිලා.
ඒත් මිගාර සිටු මව දිගින් දිගටම මළ යස්සයෝ දෙන්නෙකුට බණීවි.
මම කළේ කාමරේ හිටපු සත්තු ටික මඟෑරලා කුස්සියට ගිහින් තේ ජුංඩක් බීලා, ලෙමන් පෆ් එකක් කන එක. ඒ වෙද්දි සත්තු ටික බඩගාගෙන,දණගාගෙන වහලෙ උඩට නැඟලා තියේවි කියලා මට ලොකු විස්වාසයක් තිබ්බා.
තවත් වෙලාව ගන්න ඕන නිසා මම සුළුදිය පහ කරලත් ආවා.
මේං බටු මීයා ඌ උන්නු තැනම පිළිමයක් හේ ඉන්නවා. අලි තඩි මීයා ජනෙල් රෙද්දි එල්ලිලා අමාරුවෙන් ඉන්නවා. කළවැද්දා හිටි පියවර ඉන්නවා. පූස් තඩියා පුළුන් පුරෝපු වස්තුවක් හේ පොත් රාක්කෙ උඩ ඉන්නවා. මගේ යකා ආවේස වුණා.
'මං මේ හොඳ හිතින් කියන්නේ. සිවිලිම කඩාගත්ත මදිවට දැන් කාමරේ හතර මුල්ලෙ පිළිම වගේ ඉන්නද කල්පනාව? යනවලා යනවලා. මේක මහ කෝලමක් වුණානේ. ටිකක් හොඳ මූණක් පෙන්නුවම එනවා මෙතන ගෝනි නැතුව කරේ යන්න. හිතං ඉන්නේ මං හොඳ එක්කෙනෙක් කියලද?
නෑ. එක එකාගෙ බොකු බඩවැල් එළියට ඇදලා විසි කරලා පුළුන් පුරෝලා සාලෙ බිත්තියේ ගහන්නෙ.
තේරුණාද?'
මං එහෙම ඇහුවෙ පොත් රාක්කෙ උඩ හිටපු පූස් තඩියගෙන්. ඌ හරිබරි ගැහිලා කතාවකට ලෑස්ති වෙනවා වගේ මවාපාලා 'ඥාව්' කිව්වා.
මං කළවැද්දා දිහා බලලා ඇහුවා 'තේරුණාද' කියලා. ඌ බය වෙච්ච ඇස් ලොකු කරලා ඔළුව වැනුවා. ඒ පාර  බටු මීයා අත් උස්සගෙන. අන්තිමට ජනෙල් රෙද්දෙ අමාරුවෙන් එල්ලිලා හිටපු තඩි මීයා උගුර පෑදුවා වගේ එකක් කළා.
'මේහ්!! මිසී...'
ඒ වචන ආවේ උගේ කට ඇතුළෙන්. මං ආයෙ ඌ දිහාම බලන් හිටියා. මී තඩියා ජනෙල් රෙද්දෙන් බිමට පැනලා පහසුවෙන් හිටගෙන අත් දෙක ඉස්සරහට දික් කරගෙන කථිකයෙක් වගේ කතාව දිගටම කරගෙන යන්න ගත්තා.
'මං ඔහේ දිහා සෑහෙන්න කල් බලං හිටියා. ඔහේගෙ ඔය උද්දච්චම තමයි ලොකුම හෙනේ. හැම මඟුලම දන්නවා වගේ ඉන්නෙපා. ඔහේ නොදන්න බොහෝම දේවල් ලෝකෙ තියෙනවා.
අනික අපි මේ සිවිලිමේ අද, ඊයෙ ඉන්න අය නෙවෙයි. කාලයක් තිස්සෙ අනවසර ඉඩමක වුණත් ඉන්නකොට ඒක ඉන්න කෙනාගෙ භුක්තියට සවි වෙනවා.
එහෙම බැලුවම අපිටත් මේ ගෙදර අපි කැමති විදිහට ජීවත් වෙන්න අයිතියක් තියෙන්ඩෝනා.
අනික මම අහන්නමයි හිටියේ, කවුද මේ ගෙදර වයරින් කරපු බැල්ලිගෙ පුතා? කොටි බිම් බෝම්බ වළලනවා වගේ කිසි චාරයක් නැතිව හැම තැනම බට දාලා. බටවලින් වයර් එළියට පැනලා. කරන්ට් වැදුණ වාර ගාණ අනන්තයි, අප්‍රමාණයි.
අනික කවුද අර මී කතුරු තියන එකා? මොනාද ඒ උගුලට තියන හත් ජරාව? හනේ තමුසෙලට ලැජ්ජා නැද්ද හැබෑට? ඔය ගේ හරියෙ චීස් කෑල්ලක්වත් නැද්ද? පැණියලගෙ කඩෙං ක්‍රාෆ්ට් චීස් පෙට්ටියක් ගේනවකො ඕයි. රුපියල් තුන්සීය ගාණයිද කොහෙද?'
දැං මේ මීයෙක් තමයි මට දේශන මාලා අංක 212 කරන්නේ. මට ආයෙත් යකා වැහුණා. කිළිටි කූඩෙ ළඟ බිම තියලා තිබ්බ ප්‍රින්ටරේ උස්සලා දෑත බදලා මං මී නාම්බට ගැහුවා. බටු මීයා ආයෙ අත් උස්ස ගත්තා. මී නාම්බා ඉවරයි කියලා හිතලා මං කෑලිවලට කැඩුණු ප්‍රින්ටරේ එහා-මෙහා කළා.
මේක මහා මායාවක්. මී නාම්බා ආයෙත් ජනෙල් රෙද්දෙ. ඒ පාර රැවුල උඩට කරකවනවා ඉන්දියන් ටීම් එකේ ක්‍රිකට් ගහපු ශිකර්ධාවන් වගේ.
'මේහ් මිසී!!! ගෑනියෙක් වුණාට ඔහේට මහ මිනීමරු හිතක් තියෙන්නේ. අනික විවේචනයක් ඉවසා ගන්න බැරි මනුස්ස ජීවිතේ මොකක්ද? අනික ඔහේ හිතං ඉන්නෙ මීයෙක් වෙච්ච මට ඔහේට හානියක් කරන්න බෑ කියලනේ.
මිසී!! මම කියන්නද ඔහේගෙ ඇගේ උපන් ලප තියෙන තැන් ටික? 12ක් තියෙනවා නේහ්?? මෙච්චර කල් මම 11යි ගණන් කළේ. අන්තිම එක හොයා ගත්තේ අර එදා ස්කයිප් කෝල් ගත්තු දවසේ.
හහ්!!! ඔහේට දැන් හීන් දාඩිය දානවා නේද? මං ඔක්කොම බලන් හිටියේ. එහා පැත්තෙ හිටපු කෙනා කවුද කියලත් මං දැක්කා. අනික ඔහෙලා කියපු, කරපුවා ඔක්කොම මං බලං හිටියේ. මගේ නිකං කට අවුස්ස ගන්නෙපා මිසී.'
මී නාම්බා මගේ සැර බැස්සවූයේ මාව බ්ලැක්මේල් කරනවා යැයි කීමෙනි. මම හුළං බැස්ස ටයරයක් මෙන් හැකිලී ඇදේ පැත්තකින් වාඩි වීමි.
'දැන් ඔහේලා ඔක්කොටම කතා කරන්න පුළුවන්ද? අර බටු මීයට පවා?'
'පුළුවං'
ඉතාම සිහින් කුරුලු හඬකින් උත්තර දුන්නේ තවම අත් දෙක ඉහළට ඔසවාගෙන ඉන්නා බටු මීයාය.
'මොකෝ ඔය අත් දෙක උස්සං? පිස්සුයෑ ඔහේට?'
'ඒ යටත් වෙනවා කියන්නනේ'
එවර කතා කළේ පූස් තඩියාය. ඒ ද සිරුර ලෙවකමින් පිරිසිදු කරන අතරය.
'බොරු වැඩ කරන්නෙපා. ඔහේගෙ ඇගේ තියෙන හත්ජරාව ඔහොම කෙළ ගාලා අයින් කරන්න බෑ. ඔහේව අපුල්ලලාවත් ගන්න වෙයි.'
'හික්! හික්!!!'
ඒ කළවැද්දා අතින් කට වසාගෙන සිනාසෙන හඬයි.
'අනේ මේහ්!! මිසී!!! ඔහේගෙ බොරු හුරතල් ඔහේම තියා ගන්න. මොකද කියන්නෙ? ඔහේ කැමතියෑ අපි එක්ක සාමාදානෙන් මේ පුරස්නෙ බේර ගන්න?'
'දැං මොකක්ද අපිට බේර ගන්න තියෙන ප්‍රශ්නෙ?'
'ඔහේ ඉතිං බබානෙ! මුකුත් දන්නෑ. අර ස්කයිප්....'
'හරි.හරි. ඒක ආයෙ කියන්නෙපා. ගෙදර අයට ඇහෙයි'
'ඩිංගිත්තක් ඉන්න. මං පිළිවෙලට ලියාගෙනම එන්නම්.'
මී නාම්බා සිවිලිමෙන් පැන නොපෙනෙන අඳුරක සැඟවී ගියේය. බටු මීයාත්, පූසාත්, කළවැද්දාත්,මමත් පිළිවෙළින් එකිනෙකාගේ මූණු දිහා බලමින් විනාඩි 7-8ක් ගත කරන්නට ඇත.
සිවිලිමෙන් බිමට මී නාම්බා පැමිනුණි. ඔහු අත පිරිසිදු හාෆ්ෂීට් එකකින් කාලක කුරුමිණි අඩුවලින් ලියූ කොන්දේසි 07කි. එකඟ වෙමි කියන තැනින් මම අස්සන් තැබිය යුතුය.
1. හොඳින් ශුද්ධ කරන ලද කොස් ඇට 100ක් දිනපතා සිවිලිම උඩින් තැබිය යුතුය.
2. කේරල ගංජා මිලිග්‍රෑම් 50 ක් සතිපතා ලබා දිය යුතුය.
3. රාත්‍රියේ ස්කයිප් කෝල් ගන්නා විට කාමරෙන් එළියට ගොස් ගත යුතුය.
4. දවල් කාලයේ පූසන්ට රතිඥ්ඥා දැමීමෙන් සහ වතුර ගැසීමෙන් වැලැකිය යුතුය.(අයිස් වතුර විශේෂයි)
5. කළවැද්දන්ට අසභ්‍ය වචනෙන් නොබැණිය යුතුය.
6. මී උගුල් අටවන්නේ නම් ඒ සෑම උගුලකටම ක්‍රාෆ්ට් චීස් කැබැල්ලක් තැබිය යුතුය.(මී කූඩුව තබන්නේ නම් කූඩුව සබන් දමා සෝදන්න මතක තබා ගන්න)
6. මට 'වනචරයා' කියා අපහාස කළ මී බොණ්ඩිව මේ සිවිලිමෙන් වෙනත් සිවිලිමකට මාරු කර යැවිය යුතුය.
7.  මගේ කොස් ඇට විකිණීමේ ව්‍යාපාරය දියුණු කිරීමට කළ හැකි සෑම උදව්වක්ම කළ යුතු අතර එය මගේ නමින්ම(ශ්‍රීවස්ති කොස් ඇට) ලියාපදිංචි කර දිය යුතුය.
මම, එකඟ වෙමි කියන තැන බොරු අස්සනක් දැමීමි. මී නාම්බා මගේ අස්සන පරීක්ෂා කිරීමට ලෝයර් මීයකු සොයා යතැයි කිසි විට නොසිතුවෙමි.
                                            -----------------------------------------------------------------
මීයෙකුට වීඩියෝ ලීක් කළ හැකි යැයි කිසි දින නොසිතුවෙමි.

 

කාංචනා අමිලානි• මැයි 05•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

එකම මල්ය; තම්බපණ්ණිය ය

f3e616dab5254731f9a5219f658ee357

වෙනත් නම් ඇති මල්ය
ඒත් හොඳටම දන්නා සුවඳමය

විලවුන්ය; පුයරය
නුවර, නුවරුන් මඟ හැරෙන එක අරුමය
විජිණි පත්ය; අත් ලේන්සුය
ඒත් දාහය බුර බුරා ඇවිලෙන්නේ
සපා කාමිනි ඇඟ මස

අනතුරු හැඟවීම්ය; අන්ත්‍රාවයි බෝඩ්ය
ඒත් බිමට පනින්නේ බිල්ඩින්ය; කඳුය
හප හපා කෙසඟ සිරුරු එකිනෙක
දෙස් දෙවොල්ය; කඳුළු කුට්ටිය
ඊළඟ එපිසෝඩය එනතෙක් ජීවමානය

වෙනත් නම් ඇති ගන්ධය
සුගන්ධ කරන්නම තැනූ පොකුණුය
ඇස් බැඳ ‍රැගෙන ගොස් නහවාගෙන එන්න හැකිය
සියල්ල යහපත්ය

ආයෙත් නම නොදන්නා සුවඳය
එකම මල්ය
තම්බපණ්ණිය ය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

මං ඔබේ ප්‍රහේලිකාව•

1bbcfee499d83e3b59cba3ae24e15304

මං ඔබේ ප්‍රහේලිකාව තවම පුරවනවා
උපකාරක පද කිසිත් නැතිව
මුල සිට අගට
සියල්ල වැ‍රැදි පිළිතුරු එක්ක

කිසිම මොහොතක සම්පූර්ණව ආදරය නොලැබ
අන්තිමටත් බිංදුවක් ඉල්ලන්න හිතාගෙන
පහු වුණ හැම වංගුවකම
මටත් එපා වුණ කඳුම දැක
ඉල්ලීමක්ද ආදරය කිසි කෙනෙකු නොදෙන

පොසිල යුගයකත් මං ඉන්න ඇති මෙහෙම්මම
පියඹ පියඹා ගුරුත්වය නොදැන
ආලෝකයේම ඇති අඳුරක්ය මේ කුඩා ජීවිතය
සැකිල්ලක් මිස අහසේ පාවෙන්න ඉඩ නොලද

ඒ අතර සුළු දෙයක්ද ආදරය
සුළුවෙන්ම ලැබෙන විට ඉවසන්න යුතුම වෙන

කාංචනා අමිලානි• මැයි 22

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

ගී ගයන; කුරුලු ජීවිත

82e1d744c4ed91bf69f7589d5bec0e9b

කැරකෙන-පැද්දෙන
හුරුබුහුටි කූඩුව
මම ඔහේ ගී කියන
මේ මිහිරි සිර කුටිය
විටින් විට ඔබ පැමිණ
දොර හැර පෙන්වන

යන්නැයි නොකියන
සිටින්නැයි නො ඉල්ලන

ගී අසන්නට කවුරුත් නැති බව දැන
රෑ තුන් යමේ පවා
හැම වර්ගයෙන්ම ගයන
මේ කදිම කූඩුව
කුරුලු වෙස් ගෙන කැමැත්තෙන්
ඇතුළු වුණ
ගැස්සෙන-පැද්දෙන-නැලැවෙන
ඉතා සුමිහිරි ජීවිතය

යන්නැයි කියතැයි මඟ බලන
සිටින්නැයි කියතැයි බිය වෙන

කාංචනා අමිලානි• මැයි 26

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

මානසවිල :කැළැඹීම:

face55d10d321adb63780dcc3b3c0949
සිහිනය අංක 226•
මතු මහළ දොරටු හැරී ඒ මහා ශබ්දයෙන් වසමින් කෙනෙකු ආයෙන් කාලය ද; ආසාව ද: දඩුවමට බිය සිත ද එකවර නතර විය. සාමාන්‍ය ඔරලෝසුවේ වේගය එහිම කුඩා අංශු බවට පෙරලාගෙන හෙමින් ගමන් කරන්නට විය.
දැන් සියල්ල නිශ්චලැයි කිව හැකි නොවේ. දැන් මට සියල්ල නැවතිල්ලේ පෙනෙන්නාක් මෙනි. මතු මහළ සැඟැවී සිට ඔහු ද; ඔබ ද; ඇය ද ජීවිත කාලය පුරා දැන සිටි තවත් බොහෝ අය ද ජලය මෙන් පැහැදිලිව මා ඉදිරිපිටය.
තාවකාලික විස්මෘතියක ගැලී, වේගය වේගයැයි නොදැන දිවීම පවා අවබෝධ නොකොට මතු පහළ ඒ මහා දොර හැරෙතැයි බලා සිටීමේ ලජ්ජාව දැන් සිරුරේ මා හොඳින්ම දන්නා ඉන්ද්‍රියන් තුළින් සුගන්ධයක්ව හමා යනු දැනෙයි.
සුගන්ධය වූ කලී ඔබත් මමත් ඇසට-ඇස බලා ප්‍රේමයක් වූයේ යැයි නිශ්චිතව නොකී සමයක ද ගල,ගලා පවතින්නට වූවකි.
ඉතාම සෙමින්, දීප්තිමත් දෑසින් යුක්තව අපි එකිනෙකා තුළ දැල්වුණේ යැයි අනෙකුන් කියූ එළිය පියවි ඇසට පෙනෙතැයි සිතා උනුන් අභිමුඛව වාඩි ගෙන උන්නෙමු. ආලෝකය ද; සුවඳ ද ප්‍රේමයේ වාහකයන් බව එතෙක් මම නොදැන සිටියෙමි. අපි එවිටත් නිශ්චිතව ආලෝකය හඳුනාගත නුහුණු රැවටිලිකාර මොහොතක් පසු කරමින් සිටියෙමු.
රවුල් කොට සපිරි මුහුණක මා කිසි දින දැක නොතිබූ මදහසක් විය. ඔබ, වමත දිගු කර මගේ අතැගිලි අල්ලා ගනු ඇතැයි සිතුව ද, ඒ මොහොත යළි ආපස්සට ඇදී ගියේය.
ඇයත්; ඔබත් යළිත් මා දන්නා කිහිප දෙනෙකුත් ඈත,මෑත බලමින් හුන්නේ කෙනෙකු එන නියාවෙනි. තවත් කිසිවකු මෙතැනට පැමිණීමට වුවමණාදැයි සිතීමට වැය කළ යුතු කාලය සැවොම එකතුව මට පිරිනැමීම ගෞවරයක් සේ සලකා යළිත් මම මීදුමට නතු වුණෙමි.
ඒ අතර සිහින සතරක් ද; ඒ හා මිශ්‍ර අනු සිහින තුනක් ද දුටිමි.

පළමු සිහිනය:
පළගැටියන් රෑන් රෑන් පැමිණ හඬ,හඬා මළ සිරුරක් උකුල හොවාගෙන හුන් මා සහසන්නට විය. උහු, ස්වකීය කොළ පාට ශරීර උස්ව ඔසවාගෙන මගේ සිරුර වසාගෙන අස්වැසුම් බස් කියයි. සීතලක් ඒ තටු අතර මට දැනුණි. මළ සිරුර අල්ලා හුන් අත කෙමෙන් මැකී යන්නට විය. හැඬුමකින්, සියයකින් පසුව එතැන කිසිවක් වූයේ නැත. සුදු පැහැ ඇඳුම් හැද චාරිත්‍රාණුකූලව මළ ගෙදරට කිසිවකු පැමිණ සිටියේ නැත. මම නින්දෙන් ඇහැරී සිටියෙමි.

දෙවැනි සිහිනය:
දිය සෙවළ සහ පාසි බැඳුණු උස් කඳු මුදුනක, ඒ ගැටිත්තක උත්තුක්කුටියෙන් වාඩි ගෙන කෙනෙකු උන්නේය. ඕ, පහළ ඇති ප්‍රපාතය නරඹමින් ගිරි බෙයදක පිපි කහ පැහැති කුඩා මලක් ඉල්ලා හඬමින් උන්නේය. මිනිස් පුළුටකුදු නැති එතැන ඉල්ලා හැඬුවාට එ'මල හෝ අන් කිසිදු මලක් නෙලා ගෙනැවිත් දෙන්න කෙනෙකු වූයේ නැත.
එහෙත් ඒ දෑසේ වීයේ අපිරිමිත ආසාවකි. මින් පෙර කිසිදාක නොදුටු ඒකාකාර දීප්තියකි.
මම ඒ සීනයේ අතරමැඳ අකාරුණිකව ඇහැරුනෙමි. ඒ ද ගත තූ තූ කොට දැමූ අධික දාහයකින් සහ යටි ගිරියෙන් නැඟූ හඬක් සමඟ ය.

තෙවැනි සිහිනය:
මහනෙල් පොකුණක රෝස මල් පිපී තිබුණි. පොකුණු වට පොල්තෙල් පහන් දැල්වෙමින් තිබුණි. කහ පැහැති ආලෝකයක් බෙදූ ඒ අසල අවකාශය මද ධූමයකින් පිරුණාක් මෙන් විය. ස්ත්‍රෝත්‍ර ආකාරයෙන් කෙටි ගැස්සුම් සහිතව මිමිණුමක් ද පැවතුණි.
ඒ ගිනි මැලයක්ද, ඒ වටා ගමනේ යෙදුණු දෙදෙනෙක් ද මීට වසර 15 ට පමණ පෙර චානක්‍යපුරියේ කෝවිලක වූ විවා මඟුලකි. හිමිදිරියේ හෙයින් අධික සීතලෙන් මඩනා දෙතොල් ගැහෙමින් පැවතුණි. මනාලියද, මනාලයාද බිර්ලා මන්දිරයේ ඇතුළත නිම කළ පොකුණ ළඟට ආයේ කොහොමදැයි මට වටහා ගත නොහැකි විය. මනාලයා කොලණිය වටා ගමන් කළ සුදු අශ්වයා ද, පොකුණේ පිපී තිබූ රෝස මල් අනුභව කරමින් සිටියේ මේ නියම ලෝක ස්වාභාවය යයි මට ඒත්තු ගන්වමිනි. සැනින්, හේෂාවරයකින් ඒ සිහිනයෙන් අවදි වෙන්නට කටයුතු යෙදුණි.

සතර වැනි සිහිනය:
ඔබ ද; ඔහු ද; ඇය ද පිළිවෙලින් වාඩි වී සිටියේය. සෑම පාර්ශ්වයක් අතම වීදුරු බුජමක් ලූ එතෙක් කළ අනුවණකම් ය. ඉස් ගෙඩියන් සේ එහා මෙහා පාවෙමින් පැවති අනුවණ ක්‍රියා සියල්ල පිළිවෙලින් මට පිළිගැන්වුණි. ලේබල් නොගැසූ ඒ වීදුරු බුජම් ඒ ඔබේය; ඇගේය; ඔහුගේය නොදැන හිස් බැල්මෙන් මම භාර ගතිමි. දැන් ඒ අය බලා සිටින්නේ හුවමාරුවකටය.
මම මගේ අත්ල යට සම හාරා එතුළින් ගත් කුඩා සමනලුන් ඔවුන්ට පිරිනමන්නට විය.
එහෙත් ඒ කුඩා සමනලුන් පමණක් නොසෑහේ යැයි ඔබ පමණක් කියා සිටින්නට වූයෙන් රත් කළ, මල් ලියකම් සපිරි කිරිච්චියකින් ළමැද සිදුරු කර එතෙක්-මෙතෙක් දිවි හිමියෙන් රැකගෙන සිටි රන් මාළුවා ඔබට දුනිමි. මද වෙලාවක් වරල් ගස්සමින් සිට අලුත් අයිතිකරු වෙත අවනතව එ'රන් මාළුවා වෙනත් හෘදයක් ඇතුළට පිවිසුණි.
ඒ සිහිනයෙන් මම ඉතා මෘදුව ඇහැ ඇරුණෙමි.

අනු සිහින ත්‍රිත්වය පැටලුම් හැර කීම උගහටය. එහෙත් කීම යුතුය.

පළමු අනු සිහිනය:
උකුලේ හොවාගෙන හඬමින් සිටි මළ සිරුර මගේ ය. ඒ මගේ මුහුණය. මදක් සුදුමැළිව, එහෙත් සැනසිලිදායකව පෙනුණ ඒ මුහුණ එවර මම හඳුනා ගතිමි.

දෙවනි අනු සිහිනය:
ගුවනින් ඉතා විසාල ජල බිංදු වැටෙමින් පැවතුණි. ඒ ජල බිංදු ඇතුළත මනාව හැඳ,පැළඳගත් මිනිසුන් ය. ගැහැනුන් ය. සාද කතා ය. අතැති උස් වීදුරුය. ජල බිංදු බිමට වැටුණු පසු බිත්තරයක් ඇතුළෙන් අමාරුවෙන් එළියට පැමිණි සම්පූර්ණව වැඩි මිනිසුන් ය, ගැහැනුන් ය. අන් බසකි. නොතේරුම් හැසිරීම් ය.
එළිමහනක තේ බොමින් සිටි මා හඳුනාගෙන කරන හිස සෙලැවීම් ය. පානය කරමින් සිටි තේ බදුන ඔසවා ප්‍රීතිය පළ කරන මම ය.

තෙවැනි අනු සිහිනය:
මම නින්දට වම් හ. ඒ නින්දේත්, මේ අනු සිහිනයේත් වෙනසක් සෙවීම දැන් උගහටය.

මම යළිත් මතු මහළ සහ ඔබ පැමිණි දොරටුව දෙස බැලීමි. සිහින දකින අතරතුර, ඒ සිහින පහදන්න අනු සිහින දකින අතරතුර නතර ව තිබූ කාලය දැන් ගමනේය.
මම යළිත් නින්දටම වම් හ•

කාංචනා අමිලානි• මැයි 23•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

වෙනදාට මල් හෙළූ ගස කොහිද•

18556372_10212019334812255_4061715557616438249_n

වෙනදාට පය පාමුලට මල් හෙළූ ගස
අඩකුඹු කරගෙනය දැන් තමන්ගේ හිස

වෙනදාට ගස මුලට වතුර වක් කළ අත
පොරවාගෙන ළමැද මැද හිරිවට්ටවාගෙන

හැමදාම කුණාටුම රැගෙන ආ සුළඟ
සුපුරුදුම ලෙස වෙලි වෙලී වෙනත් ගස් බද

හැමදාම මල් හෙළූ
ඒ ගස කොහිද?

කාංචනා අමිලානි• මැයි 15•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

ප්‍රේම ත්‍රිකෝණෙ•

18556111_10212004541882441_7820143073908442014_n

එයා මට කතා කළා කතා කරන්න. ඒ වුණාට ඒ වෙලාවෙ බෑ කතා කරන්න. මං හිටියේ බඩේ අජීර්ණයක් හැදිලා. බඩ සහ කට අතර අනුලෝම හරි ප්‍රතිලෝම හරි සම්බන්ධයක් නැති වුණාට බඩේ අජීර්ණයක් එක්ක කාත් එක්කවත් කතා කරන්න බෑ. ඒක නියතයක්. අනික එයත් එක්ක නම් කොහොමටවත් බෑ.
මං මේක අරයටත් කිව්වා. එයා කිව්වා ගුලි දෙන්නම් බොන්න; දෙහි පොන්සු එක්ක කකාරලා ගත්තම හරි කියලත්.
මං ඉතිං 'හාය' කිව්වා.
ළා කොළ පාට පොලිතින් කවරෙක තිබ්බ ක්‍රිමිරාජ ගුලි හතරක් අරයා දුන්නා.
හැබැයි මං බිව්වේ එක ගුලියයි. බිව්වත් නෙවෙයි හැබැයි,කෑවා. ඊට පස්සේ ඉගුරු යුෂ ටිකක් නිකං අමුවෙන් වගේ කටේ දාගත්තා. මී බෙටි කෑවා හේ ඉතිං. අරයා කිව්ව විදිහට ගුලිය කන්න කලින් මං ප්‍රාර්ථනාවකුත් කළා.
'කට ඇරලා කතා කරන හැම වෙලාවකම මල් සුවඳ විහිදෙන්නෝනා'
ඇම්. ඩී.ලිවේරිස් අමරතුංග ගුලි කවරෙ හිනා කටක් නැතිව මගේ දිහා බලං හිටියා. එයාට හිට්ලර්ගෙ සැම්පලේ රැවුලකුත් තිබ්බා. පස්සෙ මං දැක්කා ඌ මට හිනාවෙනවා. අර හිට්ලර් රැවුල නටව, නටවා ගුලි කවරෙන් එළියට පැනලා ඌ නට නට යන්න ගියා.
'හා... දැන් තමුසෙට ඕනෙ නම් කවරෙ එළියෙ රවුමෙ පින්තූරෙට යනවා. මට බෑ තව නම්. මං යන්න යනවා' කියලයි ඌ ගියේ. අනේ මට හරි කේන්ති ගියා අනේ.
ඌ මොන ලොක්කෙක් ද මට ක්‍රිමිරාජ ගුලි කවරෙක එළියෙ පින්තූරෙට ඉන්න කියන්න? අනික ඒකෙ තියෙන්නෙත් මී බෙටි වෙච්ච එකේ.
'තුක්!! නොදකිං!! මූසලයා!!' කියලා මං එක පාරටම කිව්වා.
'උඹ අපිට මී බෙටි පොවලා දැන් යන්න යනවා.'
මං හිතන්නෙ ඌට කේන්ති ගියා වගේ එකක් වුණා.
'බලහංකො තොට වෙන දේ. මෝඩ ගෑනි'
කියලා ඌ කිරිවත්තුඩුව පැත්තට යන්න ගියා.
මං වැඩිය මුකුත් නොහිතා එයත් එක්ක කතා කරන්න යන්න හැදුවා. එතකොට අරයා හිටියෙත් නෑ. කොහොමත් එයාට-මෙයාට කිය කිය මේ කතා කරන වැඩේ කරන්නත් බෑනේ අනේ. අපිටත් කියලා නිදහසක් තියෙන්න එපැයි.
'හා...එහෙනම් මං එන්නම් කතා කරන්න' කියලා කට ඇරියා විතරයි. කටෙන් මල් වැටෙන්න ගත්තා. මුලින් වැටුණේ බාබන්ඩේසියා. ඊළඟට වද මල්. ඊටත් පස්සේ සමන් පිච්ච. සුවඳේ බෑ තමයි. ඒත් දැන් කොහොමද මල් වැටෙන කටකින් කාත් එක්කවත් කතා කරන්නේ?
හා...කියන්න කොහොමද කියලා?
මං එයාගෙනුයි මෙයාගෙනුයි අරයගෙනුයි එක පාර ඇහුවා. උං කිව්වා උඹ ඒක ඇම්.ඩී.ලිවේරිස් අමරතුංගගෙන්ම අහගනිං කියලා.
ඊට පස්සේ අපේ ආදර සම්බන්ධ ඔක්කොම නතර වුණා.
ඔව්!! එහෙමයි ප්‍රේම ත්‍රිකෝණෙ කැඩුණේ.
කාංචනා අමිලානි• මැයි 18•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com